ඒරියා 51 ගැනත් කියන ලංකාවේ සෙනුර ඇමරිකාවේදී මියගිය ඉන්දියානු වීරවරියද

0

ආ දුර කොතෙක්ද කියන්න නොදන්න… තවත් යායුතු දුර කොතෙක්ද කියන්න නොදන්න සංසාරය මහා දුර ගමනකි. සංසාර වීදි දිගේ අපි භවයෙන් භවය ඒ ගමන ඇවිදින්නෙමු. භෞතික කය අත්හැර සිත අපි මේ සංසාර සුවිසැරිය පුරා රැගෙන යන්නෙමු.

ආප් කෝ අග්නී සේ ඩර් නහී ලග්තේ හේ ක්‍යා? (ඔයාට ගින්දරට බය හිතෙන්නේ නැද්ද?)

ජීවිතයේ සත් වියැති විය ගෙවමින් සිටින සෙනුර පුතුගෙන් මා එසේ විමසද්දී ව්‍යක්ත ලෙස හින්දි බස හසුරැවමින් සෙනුර කදිම උත්තරයක් දුන්නේය.

මෑ ඩර් කෝක් නහී හූං…. (මම බය ගුල්ලෙක් නෙවෙයි.)

සෙනුර වීරසිංහ පුතු රටේම මාතෘකාවක් බවට පත්වූයේ ඔහු ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි සහ හින්දි බස හසුරුවමින් කරන සන්නිවේදනයත්, ඩයිනසෝර් ගැන, සර්පයින් ගැන සත්ත්ව විද්‍යාත්මක දත්ත පාදක කරගනිමින් ගෙනහැර දක්වන විග්‍රහයත් නිසා පමණක් නොව තමන් ගුවන් යානයක් ගැටී කාන්තාරයකදී පිච්චීමට ලක්වී මියගිය බවත් භාවනා කළ බවත් ආදී තොරතුරු අනාවරණය කිරීම ඔස්සේ පුනර්භවයක කතන්දරයක් පිළිබඳ කුකුසක් සමාජය තුළ මතුවීමත් හේතුවෙනි. දරුවෙක්ට ළමාවියේ සිටම භාෂාවක් නිතර කනට ඇසේ නම්, භාවිතයට හුරු වන්නේ නම් ඔහු ඒ භාෂා භාවිතයේ නිපුණයෙකු වීම සාමාන්‍ය සිද්ධියකි. එමෙන්ම යූ ටියුබ් වැනි සමාජ ජාල භාවිතයෙන් විෂය දැනුම සහ භාෂා දැනුම කුඩා වියේ සිටම ලබන්නේ නම් එහි සමත්කම් දරුවෙක් උරුම කරගන්න බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එය එසේ සිදුවිය හැකිය. එහෙත් දැනට නයිවල ප්‍රදේශයේ ගරාජයක් කරන නිමල් කලක් මැදපෙරදිග රැකියාවක් කළත් ඔහු ඉංග්‍රීසි හෝ හින්දි භාෂාවන් හැසිරීමේ ප්‍රවීණයකු නොවන අතර සෙනුරට එම භාෂාවන් ප්‍රගුණ කිරීමේ පසුබිමක්ද නිවෙස තුළ දක්නට නැත. බදු පදනම මත කරගෙන යන ගරාජය සහ නිවෙස දරුවෙක්ට අවශ්‍ය මානසික හා භෞතික සැප සහ නිදහස පිරුණු තැනක්ද නොවේ.

සෙනුරගේ ඉංග්‍රීසි උච්චාරණය යුරෝපීය උච්චාරණ විධින්ට සමාන වන අතර එක්වරම එය තේරුම් ගැනීමද පහසු නැත. එමෙන්ම හින්දි භාෂා උච්චාරණයද නිවැරදි ව්‍යාකරණ සහිතය.

එවන් හැකියාවක් ඒ දරුවා ලැබුවේ කෙසේද?

 

ඩයිනසෝරයන් පිළිබඳ, සත්ත්ව විද්‍යාව පිළිබඳ නිවැරදි සහ ප්‍රබුද්ධ දැනුමක් ඒ දරුවා ලැබුවේ කෙසේද? සෙනුරගෙන් යමක් විමසන විට ඔහු පිළිතුරු දෙන්නේ දරුවෙක් යමක් පවසන සරල ආකාරයෙන් නොවේ.

ඔයා කොහොමද ඔච්චර ලස්සනට ඉංග්‍රීසි කතා කරන්නේ…?

තාත්තට ඉංග්‍රීසි චුට්ටයි පුළුවන්. මම මගේ මොළේට දාලා ලොක් කරගෙන ඉන්නේ. මට අවශ්‍ය ප්‍රමාණය මම ඇර ගන්නවා.

එතකොට හින්දි කතා කරන්නේ…?

මම මගේ මොළේට දාලා ලොක් කරගෙන ඉන්නේ.

ඔයා මොනවද ඉගෙන ගන්න ආසා?

මම ආසයි ගහක් හැදෙන හැටි ඉගෙනගන්න. ඩයිනසෝර් ගැන රිසර්ච් කරන්න. ඩයිනසෝරයන්ට උල්කාපාත වැදිලා මැරුණේ කොහොමද හොයන්න? ඩයිනසෝරයන්ට කලින් ජීවත්වුණ මිනීකන මකරුන් ගැන හොයන්න මම ආසයි. ඩයිනසෝර් ඇටකටු හොයාගෙන ඩී.එන්.ඒ. ගැන පරීක්ෂණ කරලා ඩයිනසෝර් කෙනෙක් නිර්මාණය කරන්නත් මම ආසයි. මම ආසා ලොකු වුණාම විද්‍යාඥයෙක් වෙන්න.

ඔයා භාවනා කරන්න දන්නවද?

ඔහු භාවනා ඉරියව්ව පෙන්නුවේය…. මට දැන් ඒවා එච්චර මතක නෑ… ඒවා දැන් මගේ මොළයෙන් අන්ලොක් වෙලා ගිහින්.

ඔයා කාන්තාර ගැන දන්නවද?

එහෙ ඉන්නේ ඔටුවෝ උකුස්සෝ විතරයි. මම කාන්තාරෙට ලෑන්ඩ් වුණා. ඒත් ක්‍රෑෂ් එකක් වෙලා මාව පිච්චිලා මැරැණා. මැරිලා මෙහෙ ඉපදුණා. ඇස්, ඇඟ, හදවත, මොළය ඔක්කොම පිච්චුණා.

ඉස්සර ඔයාගේ කොණ්ඩය කොච්චර තිබුණද?

මෙන්න මේ ගාණට… ඔහු තම උරහිස දක්වමින් කීවේය.

ඔයා මස් මාළු කන්නේ නැද්ද?

නෑ මම කන්නේ නැහැ… සත්තු මරලා කන්න මම ආසා නෑ….

සෙනුර ඉක්මනින් කෙනෙක් හා මිත්‍රවන දරුවෙකු නොවේ. යමක් ගැඹුරින් මිස සරලව කතා කරන්නට කැමති දරුවෙක්ද නොවේ. සොහොයුරියන් දෙදෙනෙකුට පසු පවුලේ බාලයා වී ඉපදුණු සෙනුර වයස අවුරුදු දෙක හමාරක තුනක පමණ වයසේ සිටම බහුතරයක් අනෙක් දරුවන්ට සාපේක්ෂව ප්‍රගතිශීලි ලක්ෂණ පෙන්නුම් කළ බව අප හා ප්‍රකාශ කළේ නිමල්ගේ ගරාජයට නිතර යන එන ඔහුගේ හිතවත් ගනුදෙනුකරුවන්ය.

සෙනුර සොයා එහි ගිය දවසේ අපට හමුවූ ජානක වික්‍රමසූරිය උසස් අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළ අයෙකි. දැන් ඔහු ගුරුවරයෙකු ලෙස සේවය කරයි. මනෝවිද්‍යා විෂය හදාරා ඇති ජානක සෙනුර පුතු ගැන අප හා මෙසේ පැවසුවේය.

දැන් අවුරුද්දකට විතර උඩදී දවසක සෙනුර පුතා ලස්සනට දේශනයක් කළා ඩයිනසෝරයන් ගැන. එදා ඇත්තටම මට පුදුම වුණා. පරිණත දේශකයෙක් වගේ මේ දරුවා ඒ දේශනය කළේ. එදා මම නිමල් අයියට කීවා නිමල් අයියේ මේ පුතණ්ඩියා නම් එසේ මෙසේ පුතණ්ඩියෙක් නෙවෙයි කියලා. එදා හරිම ගැඹුරින් ඔහු ඩයිනසොරයන් ගැන කතා කළේ. මේ තරම් කුඩා දරුවෙක් ළඟ එහෙම දැනුමක් තියෙයි කියලා ඇත්තටම ඒක දැක්ක කෙනෙක් ඇරෙන්න කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. මම මේ දරුවාගේ දැක්ක විශේෂ ලක්ෂණයක් තමයි පුංචි කාලයේ සිටම පොඩි දෙයක් කීවත් එයා ඒ ගැන හුඟක් ගැඹුරින් හිතනවා. ඒ ගැන ගැඹුරින් හිතලා එයා ඒ දේ නැවත කතා කරනවා. හින්දි ඉංග්‍රීසිවලට අමතරව එයා පුංචිම කාලයේ කොරියානු හෝ තවත් භාෂාවක් කතා කළා. ඒත් කතා කරන්න කෙනෙක් නැති නිසා දැන් එයාට ඒ භාෂාව අමතක වී ගිහින්.

සෙනුරගේ කේන්දරයේ දරුවා ගැන විශේෂ දේවල් කියලා තියෙනවද? ඒ ප්‍රශ්නය අපි විමසුවේ සෙනුරගේ පියාගෙනි.

ඔව්… එහෙම හුඟක් විශේෂ දේවල් කියලා තියෙනවා… එහෙත් සෙනුරගේ මව ජෙනිටා මහත්මිය ඒ පිළිබඳව ඉන් එහා යමක් කතාකරන්නට කැමැත්තක් දැක්වූයේ නැත.

දරුවා පුංචි කාලෙ ඉඳන් කළ කී දේවල් ගැන අපි කතා කරමුද?

එයා පුංචි කාලෙ ඉඳන් උදැල්ලක් අරගෙන වත්තේ හැමතැනම හාරනවා… අපි මොනවද පුතේ ඔය කරන්නේ ඇහුවම ඩයින්සොරයන්ගේ ඇට කටු හොයනවා කියනවා. සෙල්ලම් බඩු ඉල්ලුවේම ඩයිනසෝරයන් හා සර්පයන්. සෙල්ලම් කියලා කරන්න කැමති වුණේම ඔය එක එක පරීක්ෂණ. අමෙරිකාවේ A-51 ඒරියා එක කියලා තැනක් තියනවා කියලා විස්තර කිව්වා. දවසක් පුතා භාවනා ඉරියව්වකින් හිටියා. මම ඇහුවා ඇයි පුතේ ඔය මොකද කියලා. මගේ භාවනා ගුරුවරයා ඉන්නේ ඈත. එයා රැවුල කොණ්ඩය දිගට වවපු කෙනෙක් කිව්වා. දවසක් කාටුන් එකක් බල බලා ඉඳලා මගේ ළඟට ඇවිත් හින්දියෙන් මොනවද කීවා. මම හිතුවේ ටී.වී. බලන නිසා ඔය වචනයක් දෙකක් කතා කරනවා කියලා. ඒත් දිගටම එයා හින්දි කතාකරන්න පටන් ගත්තා. ගැරේජයට එන අය එක්ක ඉංග්‍රීසියෙන් කතාකළා. මෙයා කතාකරන විදිහ හරි විශේෂයි කියලා දවසක් මෙතෙන්ට ආව සර් කෙනෙක් වීඩියෝ එකක් කරලා අන්තර්ජාලයට දාලා. ඒ නිසා තමයි පුතා ගැන හුඟක් අය කතාකරන්න ගත්තේ. තාරකා බලන්න ආසයි කියලා දුරේක්ෂයක් ඉල්ලුවා. පුතා බලන්න ආව නෝනා කෙනෙක් දුරේක්ෂයක් අරගෙන දුන්නා. පරීක්ෂණ කරන්න කියලා විද්‍යාගාරයක් ඉල්ලනවා. පුතා ලේසියෙන් කෙනෙක් එක්ක මිත්‍ර වෙන්නේ නැහැ. ඒ එයාගේ හැටි. බත් කන්න කැමතිම නෑ. එයා නිර්මාංශයි. බනිස් පළතුරු වගේ දේවල් තමා කන්න කැමති. දරුවා බලන්න හුඟක් අය එනවා. එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල අය, ප්‍රසිද්ධ හාමුදුරුවරුන්, වෛද්‍යවරුන් හුඟක් අය කතාකළා.

දරුවා ගියේ පොඩි ඉස්කෝලෙකට. දැන් දරුවට සියලු පහසුකම් නොමිලේ ලබාදෙමින් ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබී තියෙනවා. ඒ පාසල විශේෂ ඉල්ලීමක් කළා දරැවාව මාධ්‍යට නිරාවරණය කරන්න එපා. දරුවා ඔස්සේ කිසිදු ප්‍රසිද්ධියක් ලබන්න පාසල කිසිදු අපේක්ෂාවක් කරන්නේ නැහැ කියලා. ඇත්තටම දැන් දරුවට එයා බලන්න හුඟක් අය එන එක මානසික හිරිහැරයක් වෙලා… එයා එක එක විදිහට ඒ අකමැත්තට ප්‍රතිචාර දක්වනවා… දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසලක් ලැබුණා… දරුවා පුනර්භවයක් ගැන කියනව නම් ඒක දරුවාගේ මේ භවයට හිරිහැරයක් කර නොගෙන දරුවා තුළ ඇති කුසලතාවන් වැඩිදියුණු කරගන්න පරිසරයක් නිර්මාණය කරදීම විතරයි අපේ බලාපොරොත්තුව.
සෙනුර පිළිබඳ සමාජ මාධ්‍ය කතාබහ තුළ දිගහැරුණු තවත් ප්‍රබල කතිකාවතක් වූයේ ඉන්දියානු වීරවරියක ලෙස සැලකෙන පළමු ඉන්දීය ගගනගාමී කාන්තාව වූ කල්පනා චවුලා පිළිබඳ කතාවයි. කල්පනාගේ ජීවිතය මරණය සෙනුරගේ කතාව සහ ස්මරණයන් ගැන සසැඳෙන බවටද ඇතැම්හු අදහස් ප්‍රකාශ කර තිබුණි.

කවුද මේ කල්පනා චවුලා….

මම ඉපදුණේ කුඩා තැනකට පමණක් කොටුවෙන්න නෙමෙයි. මුළු විශ්වයම මගේ නිවසයි. එසේ කී කල්පනා කවුදැයි යන්න අපි කියවමු.

කල්පනා උපදින්නේ, ඉන්දියාවේ හර්යානා කියන පුංචි ප්‍රාන්තයේ. කුඩා වියේ සිට ගුවන් යානාවලට අහසේ පියාසර කරන්න කල්පනා ආසා කළා. තමන්ගේ ගම් පළාතෙන් මූලික අධ්‍යාපනය ලබපු ඈ පන්ජාබ් ඉංජිනේරු විදුහලෙන් ගුවන්යානා තාක්ෂණය පිළිබඳ උපාධියක් ලබාගත්තේ ඒ එම විදුහලේ එම උපාධිය ලබාගත් පළමු කාන්තාව විදිහට. ඒ 1982 අවුරුද්දෙදි.

ඉංජිනේරු විදුහලේ රසබර මතකයන් අවදි කරන ඇගේ ජ්‍යෙෂ්ඨ ආදි සිසුවෙක් මෙහෙම කියනවා.

කල්පනා මට වඩා අවුරුදු හතරක් බාලයි. කැම්පස් එකේ නවකවදය සාමාන්‍ය තත්ත්වයක්. නවකයින්ව අපි රැග් කරනවා. ඒත් ජ්‍යෙෂ්ඨයින් අතින් රැග් වෙනවා වෙනුවට කල්පනා ජ්‍යෙෂ්ඨයින්ව රැග් කළා. ඔහු සිනාසෙමින් කියනවා.

ඇගේ හැකියාවන් සහ දක්ෂතාවන් නිසාම ඇයට 1982 වසරේදීම අමෙරිකාවේ ටෙක්සාස් බලා යෑමේ අවස්ථාව ලැබුණා. ඇයට තමන්ගේ සැමියා මුණගැහුනේත් එහිදීයි. පසුව ඇයට ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමිනියක ලෙස පුහුණුවීමේ වරම් ලැබෙනවා.

මට 1985 මාර්තු මාසෙ දවසක කල්පනාගෙන් කෙටි පණිවුඩයක් ලැබුණා. I am in (මාව තෝරගත්තා) යනුවෙන් එහි සටහන්වෙලා තිබුණා. එදා තමයි ඇයව ගගනගාමියෙකු ලෙස පුහුණු කරන්න තෝරගෙන තිබුණෙ. ඇයට හැම වෙලාවෙම අලුත් දේවල් සොයායෑමේ ලොකු ආසාවක් තිබුණා. කල්පනාගේ සැමියා සිහිපත් කරනවා.

දිගින් දිගටම අධ්‍යාපන කටයුතු හැදෑරූ ඈ 1988 වසරේදී කොලරාඩෝ විශ්වවිද්‍යාලයෙන් ගුවන් යානා ඉංජිනේරුවේදය පිළිබඳ තම ආචාර්ය උපාධිය ලබාගත්තා.

ඇගේ ජීවිතයේ තවත් වැදගත්ම අවස්ථාවක් සටහන් කරමින් කොළොම්බියා ෂටල ව්‍යාපෘතියට ඇයව 1997 වසරේදී තෝරාගත්තා. ඒ අවුරුද්දේම දින 16ක කාලයක් සඳහා මුල්වරට අභ්‍යවකාශ ගතවීමේ අවස්ථාව ඇයට ලැබුණා. සාර්ථක සංචාරයකින් පසුව නැවත පෘථිවියට පැමිණි මොහොතේම ඇය කීවේ නැවතත් අභ්‍යවකාශයට යාමට තමන් සූදානම් බවයි.

ඇය තමන්ගේ අත්දැකීම් ඉන්දියාවේ සිසුන් සමඟ බෙදාගැනීමටත් ඉන් අනතුරුව අවස්ථා කිහිපයක්ම කටයුතු කළා. 2003 ජනවාරි මාසයේදී ඇයව දෙවැනි අභ්‍යවකාශ සංචාරය සඳහා තෝරාගැනුණා. නැවතත් දින 16ක සාර්ථක සංචාරයකින් පස්සේ නව විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් සිදුකරලා කල්පනා ඇතුළු 7 දෙනෙකුගෙන් යුතු ගගනගාමීන් පිරිස නැවත පෘථිවිය බලා ඒමට පිටත් වුණා. නමුත් පෘථිවියට ළඟාවෙන්න මිනිත්තු 16ක් තිබියදී කාර්මික දෝෂයක් මතුවෙලා ෂටලය ගිනිගෙන දැවී විනාශ වුණා. එය ඇමරිකානු අභ්‍යවකාශ ෂටල වැඩසටහන අතර සිදුවූ දෙවැනි අනතුරයි. ඇය අභ්‍යවකාශයේ පුරවැසියක ලෙස ලොවෙන් සමුගත්තා. ඒ ඇගේ කතාවයි. ඇය සෙනුරදැයි අපි නොදනිමු. එය විනිශ්චය කිරීම සොබාධර්මය හා බෞද්ධ දර්ශනය අනුව ඔබට බාරය.

බෞද්ධ දර්ශනය තුළ පුනර්භවය විග්‍රහ කරන ආකාරය සහේතුක සේම විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම්ය. මා ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමේදී මට හමුවූ මගේ ගුරුවරයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ වැඩබලන අංශාධිපති මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් ඇඳුරන් සමඟ මෙවැනි මාතෘකා පිළිබඳ ඇතිකරගත් සංවාද මේ මොහොතේ මගේ මතකයට නැඟේ. පුනර් යන උපසර්ගය පූර්ව වනවිට නැවත යන අර්ථය ගම්‍ය වේ. භව යනු ආත්ම යන සංකල්පය නොව බෞද්ධ ආගමික දර්ශනයට අනුගතව ඊළඟ මොහොත, ඊළඟ අවස්ථාව යන අර්ථය දනවන්නකි. ආත්ම යන සංකල්පය බෞද්ධ දර්ශනය හා සබැඳෙන්නක් නොවේ. පුනරුත්පත්තිය යනු නිර්මාණවාදී දේවවාදී ආගම් ඔස්සේ එන සංකල්පයකි. මැරුණ පුද්ගලයාම නැවත ඒ ආකාරයෙන්ම උත්පත්තිය ලැබීම පුනරුත්පත්තිය යන සංකල්පයෙන් විග්‍රහ කෙරේ. එහෙත් පුනර්භවය යන සංකල්පය ගැඹුරු යථාර්ථවාදී සංකල්පයකි. භවය හෙවත් ඊළඟ මොහොත, අවස්ථාව යන සංකල්පයට සංසාරය යන සංකල්පය එක්කර පුනර්භවය යන සිද්ධාන්තය බෞද්ධ දර්ශනය ඔස්සේ විග්‍රහ කෙරේ.

බෞද්ධ දර්ශනය අනුව ක්ෂණයක් පාසා සියල්ල වෙනස් වෙයි. මරණයට පත්වෙයි. මේ මරණය සම්මුති මරණ සංකල්පයට වඩා ගැඹුරු සංකල්පයකි. ක්ෂණයක් පාසා චින්තනය වෙනස් වෙමින් ගොඩනැගෙන ක්‍රියාවලියක් ලෙසටද භවය අර්ථ දැක්විය හැකිය. භෞතික කාරණාවද පදනම් වෙමින් චින්තනමය කාරණාවද සමඟ සබැඳෙමින් භවය යන්න ගොඩනැගෙන අතර සිතක් නිෂ්පාදනය වීමේදී නිරන්තරයෙන් බලපාන සාධකය වන්නේ භෞතිකයයි. භෞතිකයෙන් වියුක්තව සිතක් නිෂ්පාදනය නොවේ. පංචේන්ද්‍රිය කේන්ද්‍රගතව මෙම ක්‍රියාවලිය සිදුවන අතර පංචේන්ද්‍රියන් ඔස්සේ සංජානනය සිදුවේ.

පංචේන්ද්‍රියන් මූලිකව නිරන්තරයෙන් විඥානය නිර්මාණය වේ. භව සංකල්පයද ඊට සමගාමී වෙයි. භව යන්න අන්තර්ගතයේ ක්‍රියාව පවතී. චේතනාන්විත ක්‍රියාව චෛතසික නිෂ්පාදනය සඳහා බලපෑම් කරනු ලැබේ. ක්‍රියාවෙන් හා අන්තර් ක්‍රියාවෙන් තොරව චින්තනයක් නොපවතී. ගැඹුරින් පිරික්සද්දී භව යනු විඥානික ක්‍රියාවලියකි. විඥානික ක්‍රියාවලියකින් තොර භව යන සංකල්පයක් නොමැත. එහෙයින් විඥානයේ පැවැත්ම නිරන්තරයෙන් භව නිෂ්පාදනයට හේතු වන්නා සේම භව නිරෝධයටත් හේතු වේ. භව නිර්මාණය වන්නේ බන්ධනයක්, අල්ලා ගැනීමක් සමඟය. අල්ලාගැනීම යනු මානසික ක්‍රියාවලියකි. විඋපසර්ගය පූර්ව වෙද්දී ඥාන යන්නට එහි අර්ථය ප්‍රභේද ගත කිරීම යන්නය. ඕනෑම භෞතිකයක් ප්‍රභේද ගතකර සිතිය හැකි නම් එතන විඥානික ක්‍රියාවලිය පවතී. ලෝකය තුළ අප දකින්නේ සංයෝජන පදාර්ථය. ලෝකයේ කිසිදු භෞතිකයකට තනිව පැවැත්මක් නැත. මේ අයුරින් ගැඹුරින් සහ විශ්ලේෂනාත්මකව මේ ක්‍රියාවලිය විග්‍රහ කළ හැකිය.

මරණයෙන් පසු විඥානය තවත් භෞතිකයක් සමඟ එක්වීම උත්පත්තියයි. සිත ඊළඟ මොහොතට ඊළඟ අවස්ථාවට බලපෑම් එල්ල කරනු ලැබේ. මරණින් පසු ශරීරය අත්හැර සිත තවත් සුදුසු තැනකට ගමන් කරයි. ඒ ප්‍රතිසන්ධියේදී සිත පුහුණු කළ දේ ඒ භවය වෙත රැගෙන යයි. ඉපදීම තීරණය වන්නේද සිතේ ස්වරූපය අනුවය. චුති චිත්තය හෙවත් මියයාමේදී ගොඩනගා ගනු ලබන සිතේ ස්වභාවය ඊළඟ භවයට බලපෑම් කරනු ලැබේ. සන්නිවේදනයේ මූලික ලක්ෂණයක් වන්නේ පණිවිඩය කෙරෙහි පණිවිඩය යවන්නාගේ සහ ලබන්නාගේ සංස්කෘතික සමාජ සහ මනෝ භාවාත්මක කාරණාව බලපානු ලබන බවයි. මෙකී සන්නිවේදන න්‍යාය භව සංකල්පය විෂයෙහිද සබැඳේ.

පුනර්භවය යනු පදනමක් සහිත ක්‍රියාවලියකි. මැනවින් පුහුණුකළ සිතට අනුකුලව භවාංග සිත දක්වා ගමන් කළ කාරණා ඊළඟ භවය දක්වා ගමන් කිරීමත් ඒවා ස්මරණය වීමත් පදනම් සහිත සත්‍යයකි. අප අතීතය සිහිපත් කරන්නේද භවාංග චිත්තය දක්වා ගමන් කළ කරුණු පදනම්වය. භවාංග චිත්තය අවධි කළ හැකි අයෙකුට පෙර භවය ස්මරණය කිරීමේ හැකියාව පවතී. භවාංග සිත අවදිවන අවස්ථාවල පටිගත කළ දෙයක් නැවත අසනවා මෙන් පෙර භවය තුළ ගොඩ නැගූ දේවල් යළි මතකයට නැගිය හැකිය. ඇතැම් පුද්ගලයන් පළමු දැක්මේදීම හුරුපුරුදු ලෙස දැනෙන්නේ ඒ භවාංග සිතේ අතීත මතක පෙර භවයන්හි සබඳතා අවදි වීමෙනි. බෞද්ධ දර්ශනය තුළ විග්‍රහ කරන මේ සත්‍ය විද්‍යාත්මකව හඳුනාගන්නට තවමත් ක්‍රමවේද නිර්මාණය වී නැත.
පෙර භවයන් තුළ භාවනාව, භාෂා ඥානය, කලාව, ලේඛනය මේ ආදි හැකියාවන් දේවල් ප්‍රගුණ කළවිට ඒ කෞශල්‍යයන් අනෙක් භවය කරාද රැගෙන යයි. නිසර්ග ශක්තීන් පිටුපස ඒ භව ශක්තීන් සැඟව පවතී. සිත මැනවින් පුහුණු කළ විට ඊළඟ භවය පිණිස ඒ පුහුණු සිත ධනාත්මක බලපෑම් කරනු ලැබේ. සංසාර ගමනේදී අත්හරිනු ලබන්නේ භෞතික කය පමණය. සිත සංසාරය පුරා ගමන් කරයි. ලෝකයේ පවතින දුෂ්කරම කාර්යක් වන්නේ මැනවින් සිත පුහුණු කිරීමයි. මැනවින් පහුණු කළ සිත අපරාජිත මහා ශක්තියකි.

ඒ ශක්තින් යමෙක් මේ භවය කරා රැගෙන විත් ඇත්නම්… ඒ ශක්තින් ආධ්‍යාත්මික හිත සුව පිණිස සේම සමාජ සුබසාධනය පිණිස හේතුවන්නේ නම් කළ යුත්ත වන්නේ අද්‍යතනය වඩාත් යහපත් කරලනු පිණිස ඒ ශක්ති සාර ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීමයි.

සංජීවිකා සමරතුංග ( DESHAYA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here