පැණිය බීල හොද උනු එක්කෙනෙක් හොයාගන්න නෑ ..පැණියට ඇති රාජ්‍ය අනුග්‍රහය නිසා ගුණදොස් කියන්නත් වෛද්‍යවරු මැළිවෙලා.

0

අත්තනගල්ලේ අක්කර සිය දහස් ගණනක් ඉඩම් හිමි, ප්‍රභූ දේශපාලන වලව් පන්තිය නියෝජනයකළ, බණ්ඩාරනායක පවුලේ කිට්ටු ඥාතීන්ද වන ඔබේසේකර පවුලේ පරිත්‍යාගයක් වන වතුපිටිවල රෝහල ගැන මේ දිනවල මුළු රටම කතා කරති. ඒ දේශපාලකයන් නිසා නොව වතුපිටිවල රෝහලේ පරීක්ෂා කළ බව කියන කොරෝනා පැණියක් නිසාය. එහෙත්​ රෝහල් අධ්‍යක්ෂවරයා කියන හැටියට එවැනි පැණියක් රෝහලේ නේවාසික රෝගීන්ට දී පරීක්ෂා කර නැත.

මේ පැණිය දී ඇති බව කියැවෙන්නේ වතුපිටිවල ​කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින රෝගීන්ටය. එම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇත්තේ වතුපිටිවල සිට අත්තනගල්ල හොරගොල්ල වලව්ව ඉදිරියට වැටෙන පාරේ පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානයේය. මේ ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍යවරයා වූයේ ධම්මික කුමාරය. කොරෝනා පැණියේ අයිතිකරුවා කෑගල්ලේ හෙට්ටිමුල්ලේ ධම්මික බණ්ඩාර කපු මහත්තයා වුවද පැණියට මුලින්ම චරිත සහතික ලැබුණේ ධම්මික කුමාර දොස්තර මහත්මයාගෙනි. ධම්මික බණ්ඩාර කපු මහත්තයා හැදූ පැණිය රෝගීන්ට දුන්නේ ඔහුය. මුලින්ම ඔහු සඳහන් කළේ පැණිය දුන් පසු කළ පීසීආර් පරීක්ෂාවේදී රෝගීන් නෙගටිව් වූ බවය. එම පැණිය දුන්නේ කාටද? කවදාද? පීසීආර් පරීක්ෂණය කළේ කවදාද? පැණියෙන් රෝගීන් සුව වූ බවට විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වූවාද? එසේ සුව වූවා නම් එය තහවුරු කළේ කවුද යනුවෙන් ප්‍රශ්න රැසකි. මේ ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් අපි දොස්තර ධම්මික කුමාරට කතා කළෙමු. එහෙත් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

ධම්මික බණ්ඩාර කපු මහත්තයාගේ පැණිය ගැන පරීක්ෂණ පවත්වන විශේෂඥ කණ්ඩායමත් මේ ගැන මාධ්‍යයට නමින් කතා කිරීමට මනාපයක් නැත. ඊට හේතුව පැණියට රාජ්‍ය අනුග්‍රහය ලැබීමය. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි, කථානායක මහින්ද යාපා අබේවර්ධන, දේශීය වෛද්‍ය ඇමැති සිසිර ජයකොඩි ඇතුළු මෙකී නොකී දේශපාලනඥයෝ රැසක් පැණිය බීවෝය.

ඉතින් වෛද්‍යවරුන් කල්පනා කරන්නේ රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති පැණියක් ගැන ගුණ දොස් විචාරන්නට ගොස් රස්සාවට නැති ප්‍රශ්න ඇතිකර ගන්නේ කුමටදැයි කියාය.

ධම්මික කපු මහත්තයාගේ පැණියෙන් කොරෝනා සුව වන බව රටේ මිනිසුන් විශ්වාස කළත් ප්‍රශ්නය වන්නේ එසේ වූ බවට තවමත් තහවුරු වී නොතිබීමය. පැණිය බී තමන් සුව වූ බව කීමට කවුරුවත් සොයා ගන්නට බැරි වීමය. තමන් යටතේ සිටි රෝගීන් පැණිය බී සුව වූ බව ධම්මික කුමාර දොස්තර මහත්තයා කීවාට ඒ ගැන හරිහමං පරීක්ෂණ වාර්තාවක් තමන්ට ලැබී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය. මේ පැණිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්කරන ලද විශේෂඥ කමිටුවටද එවැනි වාර්තාවක් ලැබී නැත. වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ රෝගීන්ට පැණිය දුන් පසු සුව වූ බව කියන අයගේ පීසීආර් වාර්තාවන් පරීක්ෂා කිරීමට ලැබුණේ නැති බව එම වාට්ටුවේ සාමාජිකයෝ ‘සති අග අරුණ’ කළ විමසීමකදී කීහ.

මේ විශේෂඥ කමිටුව පත්කරන ලද්දේ ධම්මික කපු මහත්තයාගේ පැණිය පරීක්ෂා කිරීමටය. එහි සභාපතිවරයා වන්නේ රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටිය ය. ඔහු පැවත එන්නේ වෛද්‍ය පරම්පරාවකිනි. බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකින්ම ඔහු සුදුසුකම් සපුරා ඇත්තේය.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අලුතෙන් සොයාගත් ඖෂධයක් කෙළින්ම රෝගීන්ට දෙන්නේ නැත. එහෙත් ආයුර්වේදයේ එවැනි ක්‍රමයක් නැත. වසර දහස් ගණනක් තිස්සේ ඖෂධීය ශාකසාර රෝගීන්ට දෙන බැවින් ඔවුහු රසායනාගාර පරීක්ෂාවකින් තොරව රෝගීන්ට බෙහෙත් දීම සිරිතය. මේ නිසා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම තීරණය කළේ ආයුර්වේද බෙහෙතක් බව කියන බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මගින් මෙය පරීක්ෂා කරන්නටය. ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරනතුංග ඒ සඳහා කමිටුවක් පත් කළේය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජාතා එදිරිවීරගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයන් වූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි ඒ. පරණගම, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ස්වර්ණා කලුතොටගේ, වෛද්‍ය නිලධාරී ශාන්ති පී. කුඹුරේගෙදර සහ විශේෂඥ වෛද්‍ය සුපුල් සුමනසිංහ යන අයයි. මෙම කමිටුවට පැවරී තිබුණේ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීමටය. එම කමිටුව කළ පරීක්ෂණයේ වාර්තාවද කඩිනමින් ආයුර්වේද කොමසාරිස්වරයා වෙත යොමු කෙරුණි. තමන්ගේ පැණියේ සංයෝග ලෙස ධම්මික බණ්ඩාර දැනුම් දී ඇත්තේ මීපැණි, සාදික්කා, මහදුරු ඇතුළු ආයුර්වේදයට අයත් ඖෂධ වර්ග කිහිපයකි. මෙම අමුද්‍රව්‍ය ඖෂධීය ගුණ හා ආහාරමය ගුණ ඇති බවත්, මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍යයන් නොමැති බව කමිටුව වාර්තා කර ඇත.

උණ සන්නිපාතය වැනි රෝග සඳහා සුදුසු මෙම පැණියෙන් විවිධ රසයන්ගෙන් සහ ගුණවලින් යුක්ත වෙයි. තුන් දෝෂය නැසීමට සුදුසු වෙයි. වේදනාව අඩු වෙයි. හුස්ම ගැනීම පහසු කරයි. විෂබීජ නාශකයකි. මෙම වාර්තාව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ තාක්ෂණ කමිටුව වෙතද ඉදිරිපත් කරන ලදී. එහිදී ද මෙම පැණියේ ආහාරමය සහ ඖෂධීය ගුණ ඇති බව නිරීක්ෂණය කර තිබේ. නමුත් කොවිඩ්-19 වයිරසයට අනුකූල වන්නේ නැත. තවදුරටත් සායනික පරීක්ෂණ කළ යුතු බව නිර්දේශ කර ඇති පරීක්ෂණ මණ්ඩලය සාදික්කා අධි මාත්‍රාවක් ලබාගත් විට මානසික රෝග ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරනතුංග අමාත්‍යාංශය වෙත යොමුකළ ලිපියේ සඳහන් වන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල්වල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදු නොකරන බවයි. එම නිසා පැණිය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදය යටතේ සායනික පර්‌යේෂණයක් සිදු කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ධම්මික බණ්ඩාර ඉදිරිපත් කර ඇති ඖෂධ වට්ටෝරුව හා නිෂ්පාදන ක්‍රමවේදය අනුව ඖෂධ නියැඳියක් ලබාගැනීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එස්.එම්. හැරපත්දෙණිය, විශේෂඥ වෛද්‍ය සුපුල් සුමනසිංහ හා වෛද්‍ය එම්.වී.ආර්. විජයන්තිමාලා ඉදිරියේ ලබාගත යුතු බවද ආයුර්වේද කොමසාරිස්වරයා දැනුම් දී තිබේ.

එම දැනුම්දීමට අනුව සාම්පල ලබාගැනීම ධම්මික බණ්ඩාරගේ කෑගල්ලේ නිවසේදී සිදු විය. එම සාම්පල පරීක්ෂණ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කෙරුණි. ඒ සඳහා වෛද්‍ය සේනක පිලපිටියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් පත්කරන ලදී. ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් යොමුකළ සාම්පල පිළිබඳ සායනික පරීක්ෂණය රජරට විශ්වවිද්‍යාලයේදී මේ වනවිට ආරම්භ කර ඇත. ඒ පිළිබඳව මහාචාර්ය සේනක පිලපිටියගෙන් සිකුරාදා (18) පස්වරුවේ අපි කරුණු විමසීමක් කළෙමු.

‘‘සායනික පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. එවැනි පරීක්ෂණයකට මාස කිහිපයක් ගත වුවත් අපි ඉදිරි සති තුන තුළ පරීක්ෂණ ප්‍රතිඵලය කියන්න සූදානමින් ඉන්නවා. ඒ සඳහා දහස් ගුණයක් වේගයෙන් පරීක්ෂණ කරනවා. දැනට සමාජයේ විවිධ මත පළවන බැවින් වැඩිදුර මොකුත් කියන්න බැහැ’’ මහාචාර්ය පිලපිටිය කීවේය.

කෙසේ නමුදු මේ වනවිට කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා කියමින් නිපද වූ ඖෂධවලට අනුමැතිය ගැනීමට අයැදුම්පත් දොළහක් පමණ ඉදිරිපත්ව ඇති අතර ඒවා පරීක්ෂණ කටයුතු සඳහා සාම්පලද සමග නාවින්න ආයුර්වේද පර්‌යේෂණ ආයතනයට යොමුකර තිබේ.

නමුත් ධම්මික පැණිය සඳහා මෙතෙක් කිසිදු අයැදුම්පතක් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කර නොමැත. සාම්පල සමග අයැදුම්පතක් ඉදිරිපත් කර නිෂ්පාදනාගාරය ලියාපදිංචි කරන ලෙස ධම්මික බණ්ඩාරට ආයුර්වේද දෙපාර්තමේන්තුව මාසයක් පුරා දැනුම් දී ඇතත් එම දැනුම් දීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නැත. ආයුර්වේද දෙපාර්තමේන්තු පනතට අනුව කිසියම් නිෂ්පාදනයක් සඳහා නියමිත ක්‍රමවේදයකට අනුව අනුමැතිය ලබාගත යුතුය.

මේ පිළිබඳව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරනතුංගගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම පැණිය සඳහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවයි.

මෙවැනි සායනික පරීක්ෂණයක් කරන විට ධම්මික බණ්ඩාර අනුරාධපුරයේදී ලොකු නාඩගමක් නැටුවේය. අනුරාධපුර රුවන්වැලිසෑයට පැණි පූජා කිරීමට ගිය ධම්මික බණ්ඩාරට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඉදිරිපිටදී තමන්ට කාලි මෑණියන් ආරූඪ වූ බවක් ප්‍රදර්ශනය කළේය. ඒ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින මළුවට ගොස් පැණි පූජා කිරීමට ඉඩ නොදීම හේතුවෙනි. ‘‘මම කාලි. ඔබවහන්සේගේ අම්මා’’ යනුවෙන් අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ කෑමොර දුන්​ෙන්ය.

කාලි මෑණි වැහුණු බව කියන ධම්මික කපු මහත්තයා කියන්නේ තමන්ට මේ ඖෂධය දුන්නේ කාලි මෑණි කියාය. මේ වනවිට කාලි මෑණි දුන් පැණියෙන් කොරෝනා සුව වෙනවාදැයි නැද්දැයි දැන ගැනීමට අපට තව දෙතුන් සතියක් ඉවසා සිටින්නට සිදුවනු ඇත.

උදයජීව ඒකනායක/මනෝජ් එදිරිසිංහ – මීරිගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here