හුරුල්ලැව පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර විනාශ කරලා..පැරණි චෛත්‍ය,සඳකඩපහණත් ඒ අතර

0

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති මහ හුරුල්ලැව පුරාවිද්‍යා ස්ථානය හා භූමිය යම්කිසි පිරිසක් යන්ත්‍රසූත්‍ර දමා සම්පූර්ණයෙන්ම ඩෝසර් කර විනාශ කර දමා ඇතැයි ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් විසින් ගල්කිරියාගම පොලීසියට පසුගියදා (08) දැනුම් දී තිබේ.

මෙම ප්‍රදේශය ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගැසට් කොට නම් කර ඇති ස්ථානයකි. මහා හුරුල්ලෑව පුරාවිද්‍යා ස්ථානයේ තිබූ පැරණි ගල්කණු, සඳකඩපහන, චෛත්‍යය, ගොඩනැඟිලි කිහිපයක් මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉදිකිරීම් රැසක් යන්ත්‍රසූත්‍ර දමා සම්පූර්ණයෙන්ම ඩෝසර් කොට ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙය ආසන්නයේම පිහිටා ඇති චෛත්‍යක ගර්භ මීට පෙර හාරා තිබෙන ආකාරයත් මෙම ගල්තලාවේ විවිධ සටහන් තිබෙන බවත් ඒවා සියල්ල ඩෝසර් රථයක් යොදා ගෙන විනාශ කොට ඇති බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව ගල්කිරියාගම පොලීසියට වහාම වනජීවී නිලධාරීන් විසින් දැනුම් දී ඇතත් මේ වන තුරුත් කිසිදු අයකු අත්අඩංගුවට ගැනීමක් සිදු වී නොමැත.

මෙම ප්‍රදේශයේ ගොවිතැන් බත් කිරීම සඳහා පුරාවිද්‍යා භූමිය සම්පූර්ණයෙන්ම හෙළිපෙහෙළි කොට තිබෙන බවත් පුරාවිද්‍යා ස්ථාන භූමිය වෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර පත්‍ර පවා ලබාගෙන ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

මෙම ස්ථානයේ කාලයක් තිස්සේ නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වෙමින් පැවැති බවත් ගලේවෙල ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයකු විසින් මෙම ඩෝසර් රථ යොදාගෙන වීනාශ කළ බව එම ප්‍රදේශයේ සිටින ගොවීහු පවසති.

මේ පිළිබඳව ගල්කිරියාගම පොලීසියෙන් කළ විමසීමේදී එම ස්ථානය ඩෝසර් කිරීමට යොදාගත් ඩෝසරය හා රියැදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

මෙම පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ස්ථානය ඩෝසර් කොට විනාශ කිරීම සම්බන්ධයෙන් වහාම බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here