මොරගහ කන්දෙන් වතුර දීලත් ඉවරයි..ජල පෝෂක සියල්ල විනාශයි..ව්‍යාපාරිකයෙකුගේ බැල්ම.

0

දැන් කැලෑ කපන්නේ ගෙදර මිදුල, වතුපිටි ශුද්ධ කරන ගානටය. එකදු ගහක් කොළක් ඉතිරි කරන්නේ නැත. වෙනසකට ඇත්තේ වල්නාශක නොයෙදීම පමණකි. වනාත්තරයක් මුඩු බිමක් බවට පත් කරන්නට ඕනෑ තරම් ලයිසන් තිබේ. වනාත්තරයක් හරහා පාරක් කපන්නට ඕනෑම අවසරයක් ලැබේ. ඒ මතු වනාන්තර මධ්‍යයේ සිසිලස ලබන්නට නොව ‘සැප ගන්නට’ හෝටල් ද තැනේ. කිසිදු බාධාවක් නැත. සමාවෙන්න…. මේ කියන්නට යන කතාව ‘යහපාලන ආණ්ඩුව’ කාලයේ සිදුවූවක් නොවේ. ගෙඩි පිටින් සෞභාග්‍යයේ දැක්ම කරා යන ආණ්ඩුවක කතාවකි. දුකට කාරණාව මේ සියලූ නොපෙනත්කම් යහපාලන ආණ්ඩුවේ සිට වර්තමාන ආණ්ඩුව දක්වා ගෙන යෑමට තරම් කපටි රැුලක් සිටීමය. ඒ කතාව අපි මෙසේ ලියමු.

රටේ වනාන්තර අතරින් දුම්බර වන පෙතට හිමිවන්නේ සුවිශේෂී තැනකි. රට වුව උකසට තබා මඩිය තර කරගන්නා දේශපාලනඥයින්ගෙත්, කූට ව්‍යාපාරිකයන්ගෙත් අතවර කිරීම්වලට නිතර ලක්වන්නේ එකී සුවිසල් වන පෙදෙසත්, ඊට අයත් පෝෂක ප‍්‍රදේශත්ය. මතකය නිවැරදි නම් 2018 වර්ෂයේ නකල්ස් පෝෂකය විනාශ කිරීමේ පිඹුරුපත් රැුසක් දේශපාලූවන්ගේ ආශීර්වාදයෙන් ජාවාරම්කරුවන් බුරුත්තක් ඉදිරිපත් කර තිබිණි. ජාතියේ වාසනාවට පරිසර හිතකාමින් නොකඩවා ගෙන ගිය අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස එම විනාශයෙන් ගැලවීමට හැකියාව ලැබිණි.

එහෙත් 2019 වර්ෂයේ පෙබරවාරිය ගෙවී යනවිට නැවතත් එවැනි පරිසර විනාශයක් සඳහා පිඹුරු පත් සැකසිනි. දුම්බර කඳුවැටියේ නිස්කාසුවේ ජීවත් වූ මිනිසුනට විරෝධය පෑමටවත් අවස්ථාවක් නොතබා නාඋල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් ඕපල්ගල වනාන්තරයේ අක්කර 200 – 500 ත් අතර ප‍්‍රමාණයක් කූට ව්‍යාපාරිකයකු සිය බලය යොදා එළිපෙහෙළි කරමින් තිබිණි.

* මොකක්ද මේ ඕපල්ගල වනය

මේ දුම්බර වනපෙතේ බටහිර බෑවුමය. එය සෘජුවම මොරගහකන්ද ජල පෝෂකයට අයත්ය. ඕපල්ගල, ආඳාවල, ලිහිණිපිටිය යන සුන්දරත්වරයෙන් ද, කිළිටි නොවූ පරිසරයෙන් ද යුත් ගම්මාන එකී කඳුවැටිය පාමුල පිහිටා තිබේ. එම ගම්මානවල හිඳින නිර්ව්‍යාජ ගති පැවැතුම්වලින් යුත් ගම්මු කඳුවැටියෙන් ගලා එන දිය දහරින් ද, අනූන පාරිසරික වටිනාකමින් ද සුවපත් ජීවිතයක් ගත කරන්නාහ. ප‍්‍රධාන ගම් හැරුණු විට තවත් ගම්මාන රැුසක් එම කඳුවැටිය පාමුලට අයත්ය. කාටත් මතක හිටින පරිදි කිවහොත්, පසුගිය කාලයේ ඉදිවූ මොරගහකන්ද – කළුගඟ ජලාශවලට දියවර සපයන පෝෂක කලාපය ද එය වෙයි.

* කූට ව්‍යාපාරිකයකුගේ බැල්ම

එතරම් වටිනාකමකින් යුත් පරිසර පද්ධතියක් විනාශ කිරීම ඇති වෙන්නේ දේශපාලන බලයෙන් සහ කූට ව්‍යාපාරික මුදල් බලයෙනි. වනාත්තරය එළිපෙහෙළි කිරීම සඳහා එම ව්‍යාපාරිකයා වටපිටාව ගොඩනඟා ගන්නේ අතිශය සූක්ෂම ලෙසිනි. ඕපල්ගල ග‍්‍රාම නිලධාරි වසමට අයත් ආනමලේවත්ත ලෙස ප‍්‍රකටව පැවැති භූමියක් කලානූරූපීව මෙරට පුද්ගලයකුගේ භුක්තියට හිමිව තිබේ. පසු කලෙක එම පුද්ගලයා විසින් අක්කර 96 ක් පමණ වන එම භූමිය ඇපයට තබා කොළඹ ප‍්‍රදේශයේ බැංකුවකින් ණය මුදලක් ලබාගෙන තිබේ. පසුකලෙක එම මුදල ගෙවීමට නොහැකිව අදාළ ඉඩම බැංකුව සතුව තිබේ. අනතුරුව අදාළ බැංකුව එම ඉඩම වෙන්දේසි කිරීමට කටයුතු කරන අතර එය කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මිලට ගෙන තිබේ. මිලදී ගත් ව්‍යාපාරික ‘තෝරු – මෝරු’ කවරෙක්දැයි හෙළි කරනවාට වඩා මේ මොහොතේ සෘජුවම ඊට සම්බන්ධ වී කටයුතු කරන ‘අජිත් පණ්ඩිතරත්න’ සමග මේ කතාව ඉදිරියට ගෙන යන්නෙමු. ඒ, මේ මිලදී ගැනීමට සෘජුවම මැදිහත්ව සිටින්නේ ඔහු නිසාත්, මුතුරාජවෙල වැනසීමේ කාර්යයට ද ඔහු සෘජුවම මැදිහත්ව සිටින බව අප මීට පෙර හෙළි කර ඇති නිසාත්ය. කෙසේ හෝ අදාළ පණ්ඩිත-රත්නය මිලදී ගන්නා ඉඩම (වත්ත) වසම තුළදී දහපහළොස් වතාවක් මැනීම් කර මුල් අයිතිකරුට වෙන්කරදී ඇති බව කිව යුතුය. ඒ අනුව හතර වටින් වට කර ඇති එම වත්තෙහි හාත්පස සිසාරා ඇත්තේ රක්ෂිතයයි. කිසිදා එළිපෙහෙළි නොකළ එම වනය තුළ වටිනා තුරුලතා මෙන්ම බහුවිධ සතුන් ද බහුලය. දැන් සිදුව තිබෙන්නේ අදාළ පණ්ඩිතයා විසින් සිතුසේ රක්ෂිතය ද එළිපෙහෙළි කරමින් සිටීමය. අදාළ ඉඩම් අක්කර 96 නොව එම සීමාව ද පන්නා අක්කර 500 ක පමණ භූමි ප‍්‍රදේශයක් රක්ෂිතය තුළ සිය ඉඩමට අයිති කර ගැනීමේ පාදඩ කි‍්‍රයාවලියක ඔහු යෙදෙමින් සිටී. ඒ අනුව රක්ෂිතය විනාශ කිරීමෙන් නොනැවතී, කම්බි කණු සිටුවීමත් මායිම් වෙනස් කිරීමත් ජයටම සිදුවන්නේය. අදාළ බැංකුව මගින් අදාළ අක්කර 96 ක වත්තෙහි ඉඩම් මායිම් සලකුණු කිරීම විෂය භාර දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතත්, ඉහත කී පුද්ගලයා විසින් පෞද්ගලිකව බලය ලත් මිනින්දෝරුවකු මාර්ගයෙන් එම මැනීම් සිදු කර තිබේ. මතුව ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ඊට මැදිහත් වූ

එවකට නාඋල ප‍්‍රාදේශීය ලේකම්ව සිටි (ඇය මේ වනවිට දෙල්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරු කර යවා ඇත.) ආත්මා දිලූක්‍ෂි ජයරත්න මහත්මිය නියෝග කර ඇත්තේ නිවැරදිව මැනුම් කටයුතු සිදු කරන තෙක් ඉඩමේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන ලෙසයි. කි‍්‍රයාවලියෙහි ඇති වංචනික බව නිසාම 2019 මාර්තු 12 වැනි දින ප‍්‍රාදේශීය ලේකම්වරිය, පොලිසිය, මිනින්දෝරු දෙපාර්තමේන්තු සහ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු පක්ෂ විපක්ෂ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ද ඇතුළුව දෙසීයකට අධික පිරිසක් විමර්ශන චාරිකාවක යෙදී විනාශයේ තරම අත්විඳ තිබුණාහ. ඕපල්ගල ජල පෝෂකයේ කිලෝමීටර හයක පමණ දුරක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ දළ බෑවුමක් ඔස්සේ රක්ෂිතයට යා යුතුය.

* කාපට් පාරක් හදන්නත් ‘ප්ලෑන්’ කරලා

වර්තමානයේ මේ සුන්දර වන වියනට පිවිසෙන ඕනෑම අයෙකුට සිදුව ඇති විනාශයේ තරම දැකගත හැකිය. මායිම ද ඉකුත් වන සේ සිටුවා ඇති කොන්කී‍්‍රට් කණු, කපා ඇති පාරවල් දකින විට උපදින්නේ සංවේගයකටත්, කම්පනයකටත් වඩා කේන්තියකි. දුම්බරට ආගන්තුක පිටස්තරයකුට එසේ දැනේ නම් දුම්බර වනපෙත සමග නිතර ගැටෙන එහි සිහිලස සිත්සේ විඳින ගම්වැසියකුට සිතෙන දේ කියන්නට කෙනෙක් නැත. අසන්නට කෙනෙක් නැත. ඒ අදාළ සියල්ලෝම කාගේ හෝ සාක්කුවේය. එසේ නොමැත්තේ නම් විනාශය තවදුරටත් සිදුවෙද්දී ඒ ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද යන්න ගැටලූවකි. දැනට ලැබෙන ආරංචි අනුව ඉදිරියේදී මෙම රක්ෂිතයට ඇතුළු වීම සඳහා ‘කාපට් පාරක්’ තැනීමට නියමිතය. ඒ රක්ෂිතය තුළ ඉදිවන හෝටලයට පහසුවෙන් යෑම සඳහාය. ඉන් අනතුරුව හෝටලයත්, රක්ෂිතයේම තැනින් තැන ‘ෂැලේ’ ආකාරයේ කුටි ඉදිවීමට නියමිතය. එතැනින් එහාට තව තවත් දේ සිදු නෙවෙතැයි කිව හැක්කේ කාටද?

‘‘අපි දන්නේ නෑ. මේ වගේ විනාශයක් සිද්ධ වෙනවා කියලා. කන්ද උඩට ගියාම අපේ බඩ පපුව දාල.. පිච්චිලා යනවා. ඇත්තම කිව්වොත් මේවා රාවණා පරපුරේ ඉඳලා පැවැත එන ගම්මාන. මේ කඳු උඩ මහා මාලිගා පවා තිබුණු සලකුණු තියෙනවා. දැන් මේ රක්ෂිතයේ තිබුණු විශාල ගස්වැල් කපලා දාලා තියෙනවා. තැනින් තැන පාරවල් කපලා තියෙන්නේ. කොහොමටවත් මේක විනාශ කරන්න ගමේ අපි ඉඩ දෙන්නේ නෑ. මේක අපි ජනාධිපතිවරයාට,

අගමැතිවරයාට වගකිවයුතු හැමෝටම කියලා තියෙන්නේ. ඒත් ඒ ගැන අවධානයක් යොමු වුණු බවක් පේන්න නෑ.’’

ප‍්‍රදේශයේ විදුහල්පතිවරයකු වන ටී. පී. තිලකරත්න මහතා තමන්ගේ දැවීම පිට කරන්නේ එසේය. ඒ වචන අතර කොමා නැත. නැවතීම් නැත. එසේ කියන්නට වුවමනා ද නැත. ඒ පපුවේ නිතර නිතර හඬගාන කතාවය. එවැනි දැවීමක් පපුතුරෙහි සඟවා ගෙන සිටින ගැමියෝ තව කොතෙක් නම් ඇද්ද? තිලකරත්න විදුහල්පතිතුමා කියන කතාවේ අපූරු තැනක් ඇත. ඒ

‘‘කියන්න පුළුවන් හැමතැනකටම කිව්වා’’ යන්නය. ඒ අහිංසක ගැමියන්ට කියන්න පුළුවන් හැම තැනකටම කිව්වට ඵලක් නැති බව තවමත් තේරී නැත. ඔම්බුඞ්ස්මන්ටත් (දුක් ගන්නා රාලටත්) නොතේරෙන දේ පාලකයෝ කෙසේ තේරුම් ගන්නද?

* ඔම්බුඞ්ස්මන් කළේ කුමක්ද?

බැරිම තැන ගම්වාසීහු එකතු වී මේ ගැන එවකට ප‍්‍රාදේශීය ලේකම්වරියව සිටි ආත්මා දිලූක්‍ෂි ජයරත්න සමග කතාබහ කරන්නාහ. ඇය වහා කි‍්‍රයාත්මක වී ඒ ගැන ‘සවිස්තරාත්මක’ රාජකාරි ලිපියක් ජනාධිපති කාර්යාලයේ ඔම්බුඞ්ස්මන්වරයාට යවන්නීය. ඊට පිළිතුරු ලෙස 2020.06.12 වැනි දින ඔම්බුඞ්ස්මන්වරයා ලිපියක් එවන්නේ ඒ ගැන ජනාධිපතිවරයා සහ අදාළ අංශ දැනුවත් කළ බව සඳහන් කරමිනි. ඊට ජනාධිපතිවරයා මැදිහත් වන බව ද එහි සඳහන් කර තිබේ. ඉන් එක් ලිපියක් යොමු කර ඇත්තේ ඕපල්ගල රක්ෂිතය සුරැුකීමේ සංවිධානයේ සභාපතිවරයා වන එච්. එම්. කේ. ඩබ්ලිව්. කේ. හේරත් මහතාටය. එදිනම තවත් ලිපියක් ප‍්‍රාදේශීය ලේකම්වරියට ද යොමු කර තිබේ. ඒ එහි ප‍්‍රගතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉල්ලමිනි. ඔම්බුඞ්මන්වරයා වන එස්. එම්. වික‍්‍රමසිංහගේ අත්සනින් යුත් එම ලිපියට පිළිතුරු ලිපියක් 2020.07.02 වැනි දින ප‍්‍රාදේශීය ලේකම්වරිය යොමු කරන්නේ සියලූ සවිස්තරාත්මක වාර්තා සහ අදාළ පිටපත් සමගය. ඒ අනුව ඇය ආනමලේ වත්ත නම් ඉඩම් කොටස පරිසර පනත යටතේ ගැසට් කර අධිසංවේදී පරිසර කලාපයක් බටව පත් කරන ලෙස ඉල්ලමින් මධ්‍යම පරිසර අධිකාරියට ද ලිපියක් යොමු කර ඇත. එහෙත් ඒ එකදු ලිපියක් ගැන හෝ වගකිවයුතු අයෙක් සැලකිල්ලට හෝ අවධානයට යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත. එසේ වගකිවයුත්තෝ සියල්ලෝම ‘නිහඬ වීම’ පිටුපස කුමන හෝ ‘කතාන්දරයක්’ ඇති බව පැහැදිලිය. මුල් වටයේ මේ

ගැන හඬ ගෑ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය මේ වනවිට එවැනි වන විනාශයක් ගැන දන්නේම නැති තරම්ය. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මේ පිළිබඳව කතා කරන්නට බැරි තරමේ ප‍්‍රශ්න මතු වූ බව ද අපට දැනගන්නට ලැබිණි.

මොරගහකන්ද ජලාශය මේ වනවිට ඉදිකර හමාරය. එමගින් රජරටට පමණක් නොව සමස්ත යාපනය දිස්ති‍්‍රක්කයටම ජලය රැුගෙන යෑමට සැලසුම් කර තිබේ. දුම්බර වනය මේ අයුරින් විනාශයට පත්වුවහොත් ප‍්‍රතිඵලය ඉතාම දරුණු එකක් වන බව අපි පාලකයන් දැනුවත් කර සිටිමු. මේ කඳු මුදුන ඉහත්තාවේ සිට බැලූ කල මොරගහකන්ද ජලාශයත්, බෝවතැන්න ජලාශයත් ඉතා මනරම් ආකාරයට දිස් වේ. එතැනින් නවතින්නේ නැත. කුඹුරු අක්කර සියයකට පමණ ජලය සපයන ‘පාලාගොල්ල ඔය’ ආරම්භ වන්නේ ද එම රක්ෂිත භූමියෙනි. එළිපෙහෙළි කරමින් තිබෙන රක්්ෂිතයේ අති දුර්ලභ ගස්වැල් රැුසක් නැවත පණ ගසන්නට අතු රිකිලි දමන්නට නොහැකි අන්දමින් බිම් මත දිග ඇඳි සිටින්නේය. නකල්ස් රක්ෂිතය යනු බොහෝ කාලයක් ගත වුව ද වඩා උස්ව නොවැඩෙන ගහනය බහුල වන පෙතකි. ඊට හේතුව වන්නේ කඳු පන්තිය සිසාරා හමන දැඩි සුළං ධාරාය.

* නීති අණපනත් කෝ

මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා සිටියදී මෙරට වනගහනය වැඩි කිරීම සඳහා ගැසට්ටුවක් ඉදිරිපත් කළේය. එහෙත් හිටපු ජනාධිපතිවරයාම සම්බන්ධ වී සිටින ආණ්ඩුවක් මේ වන විනාශයට ඉඩ දෙන අයුරු ඔහු කිසිවක් නොකියාම බලා සිටී.

අවසරයකින් තොරව සිදුකරන මෙම සියලූ කි‍්‍රයා සඳහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමේ බලය ආයතන කිහිපයකටම ඇත. ජාතික පාරිසරික පනතේ 23 අ අ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු කි‍්‍රයාවලියට යටත්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීති විරෝධීව ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන අවස්ථාවකදී පනතේ 31 වගන්තියට අනුව මහෙස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොඉක්මවන දඩයකට හෝ වසර දෙකක් බන්ධනාගාරගත කිරිම හෝ මෙම දඬුවම් දෙකටම යටත් කළ හැක. මධ්‍යම පරිසර අධිකාරියට ඒ සඳහා බලය තිබේ. එමෙන්ම වනජීවීන් සහ වෘක්ෂලතා ආරක්ෂා කර ගැනීම් සඳහා 1937 දී ප‍්‍රකාශයට පත් කරන ලද වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක පනත කි‍්‍රයාත්මක කරන්නේ වනජිවී දෙපාර්තමේන්තුවෙනි. ඒ සියල්ලටම වඩා, ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ¼, පරිච්ෙඡ්දයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩි දියුණු කළ යුතු බව සඳහන්ය. ගැටලූව වන්නේ අණ පනත් නීති රීති කොපමණ තිබුණ ද ඒවා කි‍්‍රයාත්මක නොවීමය. ඒවාට වැට බඳින සිගාලයෝ කවරහුද යන්න සොයා බැලිය යුතුය.

 

* ප‍්‍රාදේශීය ලේකම්වරියට නිවස අසලට මාරුවීමක්

නාඋල ප‍්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් කටයුතු කළ ආත්මා දිලූක්‍ෂි ජයරත්න මහත්මිය 2019.07.07 වැනි දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිපියක් යොමු කරමින් ඒ ගැන පැහැදිලි කරන්නීය. රක්ෂිතය පිළිබඳ සංක්‍ෂිප්ත හැඳින්වීමකින් පසු ඇය මෙසේ කියන්නීය.

(උපුටනය)

‘‘ඒ අනුව උක්ත කී අජිත් පණ්ඩිරත්න යන අය (බැංකුවක නම සඳහන්ය) බැංකුව විසින් තමාට පැවරීමට නියමිත යැයි පවසන අක්කර 96 පර්චස් 23 භූමි ප‍්‍රමාණයකට අදාළ පැරණි උකස්කරුවකුට අයිති යැයි කියනු ලබන ඉඩමක ඔප්පු තිරප්පු අප වෙත පෙන්වා සිටිය ද, එයින් අපට ගැසට් පත‍්‍ර මගින් අයිතිය සනාථ වන්නේ අක්කර 36 ක පමණ භූමි ප‍්‍රමාණයක් පමණි. එකී අක්කර 96 යි පර්චස් 23 ක භූමි ප‍්‍රමාණය බැංකුව හෝ එකී බැංකුවේ නිලධාරියකු හෝ එකී භූමිය නිශ්චිතව පෙන්වාදීමට හෝ මායිම් ලකුණු කිරීමට ඉදිරිපත් වී නොමැත. එවැනි තත්ත්වයකදී ඔහු විසින් කැලටය ඇතුළුවීම, වටිනා දැව විනාශ කිරීම ආදිය සැලකූවිට ඉදිරියේදී ද මෙවැනි පුද්ගලයන් විසින් ඕපල්ගල රක්ෂිතයට හා ඒ අවට රක්ෂිතවලට විශාල හානියක් සිදු කිරීමට අවස්ථාව ඇති බව පෙනී යයි.’’

(උපුටනය අවසන්)

ප‍්‍රාදේශීය ලේකම්වරිය අවසන මතු කරන කාරණය අතිශය වැදගත්ය. එනම් ඉදිරියේදී ද මෙවැනි කූට ව්‍යාපාරිකයන් රක්ෂිත වැනසීමට නොවලහා ඉදිරිපත් වන බවය. එය සැබෑවකි. පූර්වාදර්ශය අගතිගාමී වන තරමට අනාගත ප‍්‍රතිඵල දරුණු විය හැක. මේ සිදුවීම් මාලාවේ එක් තැනකදී ප‍්‍රාදේශීය ලේකම්වරියගේ ප‍්‍රවාහන පහසුකම නවතා දමයි. එතැන් සිට ඇයට සිදුවන්නේ බස් රියෙන් සිය නිවස කරා යෑමට ඒමටය. දිස්ති‍්‍රක් ලේකම්වරයා මෙහිදී සමස්ත සිදුවීම කෙරෙහිම දක්වන්නේ උදාසීන ප‍්‍රතිපත්තියකි. අවසානයේදී නිවසෙහි සිට යෑමට ඒමට පහසු යැයි කියමින් ප‍්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්‍ෂි ජයරත්න නාඋල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිටමං කරයි. 2019.07.07 දින ඇය යවන ලිපියෙහිම සඳහන් ආකාරයට ඒ මොහොත වනවිට ප‍්‍රදේශයේ සිදුවන සියලූ අනවසර කටයුතු නතර කිරීමට ඇය කි‍්‍රයාත්මක වී තිබේ.

දැන් මේ සිදුවීමෙහි අගමුල පැහැදිලිය. ඉදිරියේදී සිදුවන්නට නියමිත දේද පැහැදිලිය. සිදුවීම් එකිනෙක

ගැටගැසී ඇති ආකාරය ද අපූරුය. එතරම් වෙහෙසවීත්, කැපවීත් රක්ෂිතය රැුක ගන්නට උත්සාහ දරන මිනිසුනට වඩා ‘හයියක්’ රක්ෂිතය නොව රටම විකුණන්නට පෙළගැසී සිටින උන්ට තිබේ. ගමත් රටත් බේරා

ගන්නට යන මිනිහාට වඩා උන් හැමදෙනාට ජාවාරම්කාරයන් අගනේය. වටනේය. ඒ, මේ තනන්නට යන්නේ උන්ගේ ලෝකයට අවැසි දේ නිසාය. එහෙත් මහ පොළොවත් සමග ගැටෙන ජනතාව සටන අත්හරින්නේ නැත. රක්ෂිතය බිලිගන්නේ නම්, දුම්බර වන පෙතෙහිම වැළලෙන්නට වුව ඔවුන් සූදානම්ය. ඒ, තවදුරටත් මේ ගැන ජනාධිපතිවරයාට ලියා තැබීමෙන් ඵලක් නොවන නිසාය.

( මෙය උදේශ සංජීව ගමගේ විසින් සම්පාදනය කළ 2021.02.07 දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ ලිපියකි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here