ලාභයි ලාභයි..රඹ­කැන් ඔය රක්ෂි­තයේ අක්ක­ර­යක් රුපි­යල් දාහයි.

0

නැගෙනහිර පිහිටි විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා රඹකැන් ඔය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය සමාගම් 15කට බදු දීම නිසා ඒ ප්‍රදේශයේ ගම් 20ක ගොවි ජනතාවත් හා ජලාශයෙන් පානීය ජලය ලබාගන්න පවුල් 5000 ක් පමණ පීඩාවට පත්වී සිටිති.

මුන්දෙනු ආර හරහා මීටර් 1215ක් දිග මීටර් 25.7ක් පස් වේල්ලක් බැඳ රඹකැන් ඔය ජලාශය ඉදිකර ඇත. මෙහි සම්පූර්ණ ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 129.5කි.

එසේ වුවත් මේ ජල පෝෂක ප්‍රදේශයෙන් අක්කර 5620ක් දැන් රඹකැන් ඔය ජලාශයට අහිමි වෙමින් පවතින බව කනගාටුවෙන් කීමට සිදුව තිබේ. ඒ නිසා රඹකැන් ඔයෙන් අස්වද්දන අක්කර 3000 කට හා පානීය ජලය ලැබෙන පවුල් 4700කට ජලය ලැබීම අඩුවෙන ලකුණු පෙනෙන්නට තිබේ.

ඊට ප්‍රධාන හේතුව මේ ප්‍රදේශය දැනට පාලනය කරන මහවැලි අධිකාරිය මගින් ගල්වළයාය පොල්ලේ බැද්ද ප්‍රදේශයේ අක්කර 5420 ක් මහා පරිමාණ සමාගම් 15කට බදුදී තිබීමයි.

මේ පිළිබඳව කරුණු දක්වන බින්තැන්න පත්තුව සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණේ අනුශාසක වසන්ත පියතිස්ස මහතා පවසන්නේ රඹකැන් ඔය ගල්වළයාය රක්ෂිතයේ හෙවත් රඹකැන් ඔය ජල පෝෂක ප්‍රදේශයේ අක්කර 5420ක් සමාගම් 15 කට මහවැලි අධිකාරිය මගින් බදු දී ඇති බවයි.

ගල්වළයාය රක්ෂිතයේ තිබෙන හොඳම ඉඩම් තමයි දැන් බදු දීලා තියෙන්නේ. ඒවායේ බඩ ඉරිඟු වැවීමටයි ඒ සමාගම් කටයුතු කරන්නේ. මේවට හැදෙන ‘සේනා’ දළඹුවන්ට කෘමිනාශක ගසන විට ඒවා පසට ජලාශයේ වතුරට එකතු වෙනවා. ඒ වතුර මේ ප්‍රදේශයේ පවුල් 3000 ක් විතර බොන්න දෙනවා. ඉතින් අපේ ගම්වල අයට නැති ලෙඩ හැදේවි.

දැන් මේ සමහර ඉඩම්වල කට්ටි අක්කර සිය ගණන් එළිකරලා. ඒ සමහර ඉඩම් අපේ අය පාරම්පරිකව වගා කරපු ඉඩම්. ඒ වගේම ඉස්සර මේ ගල්වළයායට රජයේ රක්ෂිතයට ගව රංචු තණ කොළ කෑමට දමපු ගොවි පවුලුත් මේ නිසා අනාථ වෙලා. ගවයන්ට දාපු තණ භූමි දැන් එළිකරලා බඩ ඉරිඟු දමනවා. අපේ පාරම්පරික ජීවිත රටාව මේ බඩඉරිඟු වගාව නිසා විනාශ වෙලයි තියෙන්නේ. වසන්ත පියතිස්ස මහතා පවසයි.

බඩඉරිඟු වවන එක් සමාගමක් එක කඩේකින් කූරේටර්කැට කිලෝ 3500 ක් හා අනෙක් පොහොර කිලෝ 10500 ඉල්ලලා තිබෙනවා. ඒ එන විස සේරම එන්නේ රඹකැන් ඔය ජලාශයට.

මේ මහා සමාගම්වල ආක්‍රමණය නැවැත්වූයේ නැත්නම් අපි දිවි හිමියෙන් මහ පරිමාණ වගා නැවැත්වීමට පියවර ගන්න බවද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව පසුගිය දිනවල පැවැති උද්ඝෝෂණ වලදි හෙළි වූයේ මේ ඉඩම් වටා විදුලි වැට ඉදිකර ඇති බවත් සිමෙන්ති ගල් යොදා මුර කුටි ඉදිකර ඇති බවත්ය. නමුත් සමහර සමාජ මාධ්‍යවල දැක්වෙන්නේ ඉඩම් බදු දීම නතර කළ බවයි. ඒ පිළිබඳව පරිසර සංවිධාන හා ගොවි සංවිධාන එක්වී රජයෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව ‍වහා සොයා බලා පරිසර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.

මේ පිළිබඳව කරුණු දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශම්මික ලියනගේ පැවසුවේ මේ මහ පරිමාණ සමාගම් 15 මගින් පාරම්පරිකව එහි සිටි ගොවීන් පලවා දමා වාණිජ ලෙස බඩ ඉරිඟු වවන බවයි.

“මේ ඉඩම්වල බහු බෝග වගා කරපු ගොවි ජනතාව අයින් කර දැන් ඒක බෝගයක් වවනවා. ඉස්සර ගොවියන් දැන් ශ්‍රමිකයන් බවට පත්වෙලා. ඉදිරියේදි අපේ ප්‍රදේශය වස විසවලින් පිරි ප්‍රදේශයක් වෙනවා. නමුත් අර සමාගම් 15 ලාභ අරගෙන යනවා.”

මේ එළිකරන ඉඩම්වල පැරණි පුරාවිද්‍යා උරුමයන් ගැබ්වෙලා තිබෙනවා. ඒ සමඟම මේක පොදු ජන අයිතිය උල්ලංඝනය කිරීමක්. මහවැලි අධිකාරිය කිසිම පරිසර ප්‍රතිපත්තියක් අනුගමනය නොකර එක එක තැන්වලින් ගන්නා තීන්දු තීරණ මත මේ කරන විනාශය වැරදියි. මේ බිම් විනාශ කිරීමට පෙර මෙහි ඉතිහාසය පරිසරය හා ජන ජීවිත ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න අවශ්‍යයි. නමුත් ඒ එකක්වත් කෙරිලා නැහැ. ආචාර්ය ශම්මික ලියනගේ පවසයි.

“මෙම ඉඩම් අක්කරයක් මේ සමාගම් වලට අවුරුද්දකට බදු දීලා තිබෙන්නේ රුපියල් 1000 බැගින්. ඒ එක්කම දැන් ගල්වළ යායේ අලි 18ක් ඉන්නවා. මේ අලි සංරක්ෂණයට අලි සංරක්ෂණ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ආචාර්ය ශම්මික ලියනගේ පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන මහවැලි කලාප ආශ්‍රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසුවේ රඹකැන් ඔය ජල පෝෂක ප්‍රදේශයේ බඩඉරිඟු වගාව දැන් නවතා දමා ඇති බවයි.

“මේක පසුගිය රජය විසින් ගත් තීන්දු තීරණ අනුව කරපු බදුදීමක්. රඹකැන් ඔය අසල අක්කර 500 බඩඉරිඟු වගාව අපි වහාම නවත්වලා තිබෙනවා. අනිත් ප්‍රදේශවල බඩඉරිඟු වගාව පිළිබඳවත් අපි සොයා බලනවා.

රඹකැන් ඔය අවට ජල පෝෂක ප්‍රදේශවලට රඹකැන් ඔය ජලාශයට මොන විදියේ හානියක් හෝ පරිසර විනාශයකට අපි ඉඩ ‍තියන්නේ නැහැ. අපි දිගටම මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් මහතා පවසයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නේවාසික කළමනාකරු එච්.එම්. විජේරත්න මහතා පවසන්නේ පසුගිය දිනවල පොල්ලෙබැද්ද, ගල්වළයාය ප්‍රදේශවල වගා කරමින් තිබූ බඩඉරිඟු වගාව දැන් නවතා දමා ඇති බවයි.

මහවැලි අධිකාරියේ නිලධාරින් විසින් ගෙනයන මේ පරිසර හා කෘෂිකර්ම විනාශය පිළිබඳව බින්තැන්න පත්තුව ජනතාව සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ, ඌව වෙල්ලස්ස ජන අයිතිය සුරැකීමේ සංවිධානය,පරිසර යුක්ති කේන්ද්‍රය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ආදි සංවිධාන නියෝජිතයෝ සිය වි‍රෝධය පළ කරති.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නිලධාරි හා පරිසරවේදි සජීව චාමිකර පවසන්නේ මේ මහා පරිමාණ වාණිජ වගා ව්‍යාපාරය නිසා පොල්ලෙබැද්ද ගල්වළයාය, නිල්ඔය, පැඟිරිහේන යන ප්‍රදේශවල ගොවි ජනතාව කබලෙන් ළිපට වැටී වනාන්තර විනාශය ද සිදුවී ඇති බවයි.

ඉස්සර මේ ගල්වළයාය රක්ෂිත‍ෙය් තිබුණු අත්තක් කඩා ගත්තත් වනජීවි එකෙන් අල්ලනවා. ඒත් ඒ රක්ෂිතයේ තිබෙන මහ ගස් කපලා බඩඉරිඟු වගා කරනවා කම්පැනි 15 කින්. ඒත් මොන නිලධාරියෙකුටවත් පොලිසියකටවත් වනජීවී අයටත් මේ අපරාධය පෙනෙන්නේ නැහැ. බලන්නේ නැහැ. මෙහෙම ගියොත් මහඔය ජනතාවට මේ රඹකැන් ඔයෙන් ජලය ලැබෙන එකක් නැහැ. ලැබුණත් ලැබෙන්නේ වස විස සහිත ජලයයි. අපි ඉල්ලන්නේ මේ රක්ෂිතය කෑලි 15 කඩා කුඩා සමාගම් 15 කට බදුදීම වහාම අවලංගු කරන ලෙසයි. යැයි සජීව චාමිකර මහවැලි අධිකාරියෙන් ඉල්ලා සිටී.

ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ ලේකම් සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ ගල්වළයාය වන රක්ෂිතයේ හොඳම සශ්‍රීක ඉඩම් අක්කර 5426 ක් මේ වන විට කොම්පැනි 15 කට බදුදී ඇති බවයි.

“අක්කරයක් බදුදීලා තිබෙන්නේ රුපියල් දාහ ගණනේ. විශාල ගස් ඩෝසර් කරලා උගුල්ලලා. අපි පක්ෂ පාට භේද නැතිව මේ ජන අයිතිය සුරැකීමට එක්වෙන්න අවශ්‍ය බවද සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙම රඹකැන් ඔය ජලාශ පෝෂක ප්‍රදේශයේ වන විනාශය පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය, ඌරුවරිගේ වින්නියලැ ඇත්තෝ ප්‍රමුඛ ආදි වාසීහු ද, පොල්ලෙබැද්ද ආදිවාසීහු ද, රඹකැන් ඔය‍ ජලාශයෙන් පානීය ජලය ලබාගන්නා ප්‍රදේශවාසීහු ද ගල්වළයාය, නිල්ඔය මා ඔය පොල්ලෙබැද්ද පැඟිරිහේන ප්‍රදේශවල ජනතාව ද සිවිල් සංවිධාන ද පසුගියදා ප්‍රබල විරෝධතාවක් පැවැත්වූහ.

ඊට අමතරව මෙම රක්ෂිත හා රඹකැන් ඔයේ ජල පෝෂක ප්‍රදේශ පෞද්ගලික මහා පරිමාණ සමාගම්වලට ලබාදීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තොරතුරු එකතු කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

“දැනට අපි මේ ගැන තොරතුරු එකතු කරගෙන තියෙන්නේ මේ විදියට හැම ප්‍රධාන ජලාශයකට ජල පෝෂක විවිධ සමාගම්වලට ලබාදී වගා කිරීමට කටයුතු කළොත් ජනතාවට බොන්න, වගාවලට වතුර නැති වේවි. මේ නිසා අදාළ වගකිවයුත්තන් මේ ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.” හේමන්ත විතානගේ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here