මහලු මඩමේ තනිවුණු ඈ අපේ අම්මාය

0

අහස උසට බැඳුණු බලාපොරොත්තු වෙනුවෙන් පොර බදින ලෝකයේ එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් පොර බදින අසරණ මිනිස්සු… පාරට දෑස් යොමා ගෙන ඔවුන් පාර බලා සිටින්නේ කුමක් අපේක්ෂාවෙන්ද ? ඒ අය බලා සිටින්නේ එකම අරමුණක් මුණගැසෙනු වෙනුවෙනි. තමන්ගේ කුසින් බිහිවුණු දුව හෝ පුතා කොයි වේලේ හෝ තමන් බලන්නට ඒවි යන ආයාසගත සිතිවිල්ලෙනි.

වයෝවෘධ මවුපියන්ට රැකවරණය දෙන වැඩිහිටි නිවාස කොයිතරම් අපේ රටේ තියෙනවාද ? ඒ සියලු වැඩිහිටි නිවාස ආදරණීය අම්මාවරුන්ගෙන්, ආදරණීය තාත්තලාගෙන් පිරී ගොසිනි. වයස අවුරුදු 70 ඉක්මවූ ඒ මවුපියන්ට ඇති ලොකුම බලාපොරොත්තුව තම දරුවන් දැක බලා ගැනීමයි.

මේ හුඟක් අම්මලා වැඩිහිටි නිවාසයට එන්නේ ඉතාම හොඳ සිහි කල්පනාවෙනි. නමුත් ඒ අතරින් යම් පිරිසක් තනිකම, අධිකව කල්පනා කිරීම, නිසා මානසික රෝගීන් තත්ත්වයට ඉබේම පත්ව තිබෙයි. සමහර අම්මලා මුල් කාලයේ ඉතා පිරිසිදුව ඉහළ අවබෝධයෙන් සිටියත්, ටික කාලයක් යන විට ඔවුන් මානසික ආබාධයට ලක් වී කියවීමට පටන් ගනියි. තමන්ගේ ඇඳුමේ මළපහ කර ගනියි. සමහර අය ඒවාම අනුභව කරන තත්ත්වයට ද පත් වෙති. දරුවන්ගේ අහිමි වීම එතරම් ප්‍රබලය. තනිකම එතරම් තීව්‍රය. එය සිහි විකල් වීමට තරම් දරුණු මානසික උද්දීපනයකි.

වැඩිහිටි නිවාස අතර තනි වූ ආදරණීය අම්මලා සමග කතා කිරීමට අපි උත්සාහයක් ගත්තෙමු. ඒ වෙනුවෙන් අපි ගොඩ වුණේ ගම්පහට නුදුරුව පිහිටි වැඩිහිටි නිවාසයක් වෙතයි.
ගම්පහ අහස යට කොතරම් ආදරණීයද ? ඒ අහසයට හදවතින් ආදරය කරන්නෝ කොයිතරම්ද ? ඒ කිසිම ආදරයක් නැති ගම්පහ අහස යට තනි වූ ආදරණීය අම්මලාගේ කතාවක් මෙහෙම අරඹමි.

වැඩිහිටි නිවාසයේ පාලිකාතුමිය කරුණා මහත්මිය පොදුවේ මට කී කතාවක් කෙටි කරමි.“අපේ වැඩිහිටි නිවාසයේ දවසට පැය තුනක් විතර මේ අම්මලාට බණ අහන්න ඉඩ සලස්වල තියෙනවා. ඒත් මේ අම්මලා කොයි තරම් බණ ඇසුවත් හැම විටම දරුවන් ඒවි කියන බලාපොරොත්තුවෙන් දවසට පැය ගණනක් පාර දිහා බලාගෙන ඉන්නවා. කොයිතරම් දුෂ්ඨ දරුවන්ද කියනවා නම්, සමහර දරුවෝ අම්මා නැති වුණාම මිනිය ගෙනියන්න එනවා. ඇවිත් අම්මාට අරන් දීපු යකඩ ඇඳත් ගෙදර අරන් යනවා. ඒකවත් තව අම්මා කෙනෙකුට නිදියන්න පින් පිණිසවත් දීලා යන්නෙ නෑ. ඒ අය රැකියා කරපු ආයතනවල මරණාධාර මුදල් ගන්න අවමංගල උත්සවය දවස් ගාණක් මහ ඉහළින් සමරනවා. අම්මාට සලකපු විදියට රඟපානවා. අම්මා නෑදෑ ගෙදරක හිටියා කියනවා. මේ තමයි මහත්තයෝ මේ සැඟවිච්ච සමාජයේ ඇත්ත කතාව…”

වැඩිහිටි නිවාසයේ ආදරණීය අම්මා කෙනෙක් වෙතට මා යොමු වීමි. මම ඇයට මැගිලින් මාතාව යැයි කියමි.
“අම්මාගේ ගම කොහේද ?” ඇය ගම්පහ අහස යටම සශ්‍රීක සුන්දර පුරවරයක නමක් මුමුණයි.“මම මීරිගම.”
“එතකොට අම්මාගේ දැන් වයස ?”“මට අවුරුදු 76 ක් වෙනවා.” ඇය කතාව අතරට හිමින් එකතු වන්නීය.“අම්මාට දරුවන් ඉන්නවා කියලත් දැන ගන්න ලැබුණා.”“ඔව් මහත්තයා. මම මගේ කතාව ටිකක් කියන්නම්”

ඒ අම්මා ගත්තේ ගැඹුරු හුස්මකි. ඒ ඇස් අතර ඇත්තේ වේදනාත්මක හැඟීම් සමුදායකි. ඒ හැඟීම් අතරින් වචන ගලපන්නට මැගිලින් අම්මා උත්සාහ ගත්තාය.“දරුවො, මට පුතාල තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය දැන් ගොඩක් ලොකු මහත් අය. ඒ දරුවො හොඳට ඉගෙන ගත්ත ළමයි. මමයි, මහත්තයායි අපේ දරුවන්ට හොඳට ඉගැන්නුවා. ලොකු ඉස්කෝලවලට දැම්මා. ඒ දරුවො හොඳට විභාග පාස් වුණා. අපේ දරුවන්ට උගන්වන්න අපට වියදම් කරන්න තරම් විශාල හයියක් තිබුණා. මට ඉඩකඩම් හොඳට තිබුණා. අක්කර කීපයක ඉඩම් මීරිගම කිට්ටුවෙන් තිබුණා. ඒවාගේ ආදායම් එනවා. ඉතින් දරුවන්ට අග හිඟයක් වෙන්න ඉඩක් තිබ්බේ නෑ. දරුවො ඉගෙන ගෙන පුතාලා දෙන්නෙක් රට ගියා. (ඇය යුරෝපයේ ප්‍රධාන රටක නමක් කියයි.) එහෙ ගිහින් ඉගෙන ගෙන ඒ රටේ ලොකු රස්සාවක් කරනවා. විශාල වැටුපකුත් ගන්නවා. අනේ මහත්තයෝ.. ඒ දරුවෝ හොඳට රටට වෙලා ජීවත් වෙනවා.

මම හිටියේ මගේ අනෙක් පුතා ළඟ. එයා ඉතින් විවාහ වුණා. කොහොම හරි සමහර දේවල් එක්ක මට ඒ පුතාගේ ගෙදර ඉන්න බැරිව ගියා. මම දරුවන්ටත් මගේ ඉඩම් ලියලා දීලා මටත් කොටසක් තියාගෙන කොහොම හරි ගළපාගෙන ගෙදර ඉන්න උත්සාහ කළා.”මැගිලින් අම්මාගේ ඇසට කඳුළු බිඳු කීපයක් නැගුණු සෙයකි.

දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් නොපිරිහෙළා ඉටු කළ බව ඒ අම්මා කියන්නට වෙර දරන්නී ය. දරුවන්ට ඉගැන්වීම ද දේපළ ලියා දීම ද ඒ අම්මා කළේ පුදුමාකාර දරු සෙනෙහසිනි.

“ටික දවසක් යද්දී මට නොයෙක් වෙනස්කම් වෙන බව තේරුණා. මට ගෙදර ඉන්න බැරි තැනට අවසානයේ පත් වුණා. මම හුඟක් කල්පනා කළා. ඒ වෙද්දි මම ටික ටික ලෙඩ ඇඳට වැටෙමින් හිටියා. මගේ අස්ථි දිරා යමින් තිබුණා. ඔස්ටියෝ ආතරයිටීස් නිසා. ඒ වේදනාවයි, දරුවන්ගෙන් ආපු වේදනාවයි දෙකම දරා ගන්න එක ලේසි නෑ.

“පුතේ.. ලෙඩක් දරාගන්න පුළුවන්. හදපු වඩපු දරුවන්ගෙන් එන වේදනාව ඊට වඩා ගොඩක් දරුණුයි. ඒ හින්දා මට තීරණයක් ගන්න වුණා. ඒ තීරණය තමයි පුතේ මෙතන. මම අවුරුදු කීපයක් වෙනවා දැන් මෙහෙට ඇවිත්.

රට ඉන්න පුතාල එහෙම පදිංචි වුණා. ඒ අය එහෙ ලොකු රැකියා කරන අතරෙ සුදු නෝනල දෙන්නෙක් එක්ක විවාහ වුණු බව මට කතා කරලා කිව්වා. ඒ කියන්නෙ ඒ දරුවො දෙන්නා ආයෙ ලංකාවට එන එකක් නෑ. එහෙම තමයි මට දැනගන්න ලැබුණෙ. මගේ මරණයවත් බලන්න ඒ දරුවෝ ඒවි කියලා හිතන්න අමාරුයි. කීප විටක් ඒ අය ලංකාවට ඇවිත් ගියා. හැබැයි ඒ දරුවො මට ආදරෙයි. ඉඳ හිටලා වත් කෝල් එකක් දෙනවා. මට කෝල් ගන්න ෆෝන් එකකුත් අරන් දීලා තියෙනවා. මයෙ ඒ පුතාලා එයාලට ලිවුව ඉඩම් විකිණුවා. ඒ සල්ලි වලින් කොටසක් මට පොතක දැම්මා. ”

ස්ථාවර තැන්පතුවක් සහිත පොතක් ඒ අම්මා මට පෙන්වයි.
“දැන් මේකෙ ලක්ෂ 14 ක් විතර තියෙනවා. මට බේත් ගන්න ඕන වුණාම බැංකුවෙන් පොළිය අරන් මම මේකෙන් බේත් ගන්නවා. එහෙම වුණාට හිතේ සැනසිල්ලක් අපේ ගෙදරක ඉන්නවා තරම් අපට දැනෙන්නෙ නෑ.”“එතකොට අම්මෙ අනිත් පුතා..?”මෙතෙක් නොකියූ තුන්වැනි පුතා ගැන මම යමක් විමසීමි.

“එයා ගැන කතා කරන්නවත් මම කැමති නෑ. එයා ලංකාවේ ඉන්නෙ. ආරක්ෂක අංශයට සම්බන්ධ ලොකු රස්සාවකුත් කළා. දැන් එයා පදිංචි වෙලා ඉන්නෙ කොළඹ පළාතෙ. (නගරය කියන්නීය.)

එයාට ලිවිය යුතු ඉඩකඩම් ඔක්කොම මම ලියල පිළිවෙළක් කළා. අනිත් දෙන්න වගේ එයාටත් ඒ විදියටම යුතුකම කළා. රට ඉන්න පුතාලා ඉඩම් විකුණලා හරි මට මුදලක් ස්ථාවරව දාලා ඉඳ හිට නමුත් කතා කරල හරි බලනවා.

මේ කියන පුතා ලියුව ඉඩම් විකුණා ගත්තා. එක සත පහක් මට දෙන්න කතා කළේ නෑ. මුලින් ඒ පුතා මාව බලන්න මෙහෙ ආව ගියා. ඒ එන හැමදාම කතා කරන්නෙ..,“අම්මේ අනික් ඉඩම්, අම්මගෙ නමට තියෙන ඒවා..” කියලා.

“අම්මෙ දැන් ලංකාවේ ඉන්නෙ මමනෙ. අයියලා එන්නෙත් නෑනෙ. ඒවා පිළිවෙළක් කරල තියන්න. මම ලෝයර් කෙනෙක් එක්ක කතා කරන්නද ?” කියලා අහනවා.මම ඒ හැම වතාවෙම කිව්වෙ.

“උඹට දැන් ඉඩම් ලියලා දීලා ඉවරනෙ. තව මොකටද ? ඕවා ඔහෙම තිබුණදෙන් කියලා.”මේ විදියට ඒ පුතා මාස කීපයකට වරක් එනවා. ඇවිත් ඉඩම් ලියන්න කියලා කන් කෙඳිරි ගානවා. සමහර විට එයාගේ ලේලි එහෙම කියලා එවනවද දන්නෙත් නෑ මහත්තයො.කොහොම හරි දවසක් එයා ඇවිත් මට ඉඩම් ලියන්න කියලා බලකළා. හරිම කේන්තියෙන් දැඟලුවා. මම කිව්වේම “ඉඩම් ඔහොම මගෙ නමට තිබුණදෙන්. එයාගෙ කොටස ලියල ඉවරයි කියලා.”

අවසානේ ඒ පුතා වැඩිහිටි නිවාසෙ ඇතුළෙ ලොකු ගෝරනාඩුවක් කළා. සේරටම ඇහෙන්න එක්ක. එහෙම රණ්ඩු කරල ඒ පුතා ගියා ගියාමයි අවුරුදු ගාණක් වෙනවා. අදටත් ආරංචියක් නෑ..”

ඔහොම තමයි පුතේ දැන් ජීවිතේ… දරුවො හැදුවා. ඉගැන්නුවා, ලොකු මහත් කළා. ඉඩම් පවා ලියලා දීලා යුතුකම් ඉෂ්ට සිද්ධ කළා.

අද ඒ දරුවන්ට අම්මා බොහොම දුරයි. පුංචි කාලේ ළඟට ගුලිවෙලා හිටපු දරුවො තුන් දෙනා අද බොහොම දුරයි. එයාලා අලුත් පන්නයේ ලෝකය තුළ සතුට – නිදහස සොයනවා. ඒ මාවත හදල දීපු අම්මා මේ විදියට ලෙඩින්. පාළුව තනිකම ඇතුළෙ පොර බදිනවා.” මැගිලින් අම්මා යනු මේ වැඩිහිටි නිවහනට එක් මාතාවක් පමණි. එහෙත් ලංකාව පුරා වැඩිහිටි නිවාසවල මැගිලින් අම්මලා දහස් ගණනකි.

එසේ ගත් විට වැරදුණු තැනක් කොතැන හෝ තිබෙයි. එය නිවැරදි වන තුරුම මැගිලින් අම්මලා මේ සමාජයෙන් හැමදාම මතුවනු ඇත.ඉඩකඩම් ඇතිව, යහමින් මුදල් ඇතිව, දරුවන් වටකර ගෙන සිටියත්, කලකදී ඒ සියල්ල අත හරින්නට වෙන බව ඇත්තකි. මරණයට මෙහා ඒවා අතහරින්නට වීම ඇත්තටම මනුෂ්‍යයන් හැටියට සැබෑම දුකකි. එය වේදනාවකි.

“පියේහි විප්පයෝගෝ දුක්ඛෝ” යැයි දුක විස්තර කරද්දී දක්වයි. ප්‍රිය දෙයින් ඈත් වීමට වීම දුකකි. වැඩිහිටි නිවාසවල ඇත්තේම මේ පියෙහි විප්පයෝගයයි. ඔවුන් ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක මොහොතින් මොහොතම අත්විඳිමින් වේදනා දෙවයි.

අපට මෙහෙ දී අසන්නට දකින්නට ලැබුණු තවත් බොහෝ දේ ඇත.මේ ගොඩක් අය තමන් අතට යෝගට් එක දුන්නාම ඒක සෝදලා ළඟ තියා ගන්නවා. හැන්දත් එක්ක. අඳින ඇඳුම වැරහැලි වෙලා තිබුණත් ගොඩ ගහනවා මිස ඉවත් කරන්නෙ නෑ.

විශේෂයෙන්ම ඒ අය කබඩ් එකක් පාවිච්චි කරනවා නම් එහි යතුර, ජංගම දුරකතනයක් භාවිත කරනවා නම් ඒක, බැංකු පොතක් තියේ නම් එය හුඟක් වෙලාවට නිදා ගන්න ගියත් එක්කෝ කොට්ටය යට නැත්නම් අතින් අල්ලාගෙන පපුව උඩ තියාගෙන ඉන්නෙ. එපමණටම තමන්ට ඉතිරිව තියෙන දේ පිළිබඳ විශාල අශාවක් බැඳීමක් තියෙනවා. හුදෙක් මේ යථාර්ථයයි. බොහෝ දේ ඔවුන්ට අහිමි වී ඇත. දැන් ඉතිරිව ඇත්තේ භෞතික වශයෙන් පවතින දෙයක් පමණි. ඉතිරි දේ හෝ රැක ගන්නට ඔවුන් වෙහෙසට පත් වෙති. අහිමි වූ දේ නැවත ඒවි යැයි විශ්වාසය ඔවුන් තුළ බොහෝ සේ රැඳී තිබෙයි.

(නම් – ගම් මනඃකල්පිතය.)සටහන- අසංක ආටිගල
ඡායාරූප අන්තර්ජාලයෙන.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here