තාත්තාගේ මරණෙනුත් කොමිස් ගන්න හැදූ අරුම පුදුම පුතෙක්

0

සිය පියාගේ අභාවයෙන් පසු දේහය සැකසීමේ කටයුතුවලින් කොමිස් මුදලක් ඉල්ලූ අපූරු පුතකු ගැන ජාඇල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. මෙම සිද්ධිය මීට ටික කලකට පෙර සිදුව තිබුණේ එක්තරා මල් ශාලාවකය.

සුපුරුදු පරිදි අවමංගල්‍යය ශාලාවේ සේවය කරමින් සිටි ආයතන කළමනාකරු මුණ ගැසීමට පැමිණි මැදිවිය ඉක්මවමින් සිටි පුද්ගලයෙකි. ඔහු කළමනාකරු අමතා ප්‍රකාශ කර සිටියේ සිය පියා මියගොස් ඇති බවත් අවමංගල්‍ය කටයුතු ඉතා හොඳින් සිදු කළ යුතු බවත්ය. පසුව කළමනාකරු තම ආයතනය අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරයත් ඒ සඳහා යන වියදම් පිළිබඳවත් එම පුද්ගලයා දැනුවත් කරන්නට විය. ලබා දෙන සේවාව අනුව විවිධ මිල ගණන් අය කරන ආකාරයද අවමංගල්‍යය කළමනාකරු ඔහුට පහදා දෙනු ලැබීය.

සිය පියාගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉහළ මිලක් සහිත පැකේජයක් තොරා ගත් පුත්‍රයා අවමංගල්‍ය කළමනාකරු අමතා ප්‍රකාශ කළේ අදාළ බිල් පත ලිවීමේදී සැබෑ මුදලට වඩා රුපියල් පහළොස් දහසක මුදලක් බිල් පතෙහි සඳහන් කරන ලෙසය. සාමාන්‍යයෙන් බිල්පත අඩු කර දෙන ලෙස අන් පාරිභෝගිකයන් ඉල්ලීම කරන බව දන්නා ආයතන කළමනාකරු බිල්පත වැඩි කර ලියා දෙන ලෙස කරන ඉල්ලීම ප්‍රහේළිකාවක් විය.

එබැවින් කළමනාකරු එම පුද්ගලයාගෙන් විමසා සිටියේ බිල්පත වැඩියෙන් ලියන්නේ ඇයිදැයි කියාය. එවිට පුත්‍රයා දුන් පිළිතු​රින් කළමනාකරු අන්ද මන්ද විය. ඔහු පවසා සිටියේ පියාගේ අවමංගල්‍ය සඳහා වියදම් කරන්නේ සිය බාල සොයුරා බවයි. ඔහු බිල්පත් ගෙවීමට පැමිණි පසු රුපියල් පහළොස් දහස කොමිස් මුදලක් ලෙස තමාට ලබාදෙන ලෙසත්ය.

එම ප්‍රකාශයෙන් කේන්ති ගිය අවමංගල්‍ය කළමනාකරු මේ අරුම පුදුම පුත්‍රයාට පැවසුවේ තම ආයතනය එලෙස මළ සිරුරකින් කොමිස් ලබා දීමට තරම් පහත් තත්ත්වයකට වැටී නොමැති බවත්ය. එලෙස කොමිස් අවශ්‍ය නම් වෙනත් මල් ශාලාවකින් වැඩය කර ගන්නා ලෙසද ඔහු පැවසුවේ අප්‍රසන්න හැඟීමකිනි. මෙයින් කලබලයට පත් පුත්‍රයා පැවසුවේ තමන්ට පියාගේ මළ සිරුරෙන් කොමිස් අවශ්‍ය නැති බවයි. තමන් කළ ඉල්ලීම තම බාල සොහොයුරාට දැන ගැනීමට කිසි ලෙසකින් ඉඩ නොතබන ලෙස බැගෑපත් වෙමින් ඔහු අවංමගල්‍ය ශාලාවෙන් පිටත්ව යන්නට විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here