සිංහල තරුණියක්,විදේශ තරුණියක සමග ජයටම සැමරූ අමුතු මංගල්‍යය සිදූවූ හැටි

0

සිතාරා සඳමාලි ෆර්නැන්ඩෝ ශ‍්‍රී ලාංකික තරුණියකි. මෙරට උප්පත්තිය ලැබූවත් ඇය කුඩා කල සිටම හැදී වැඩුණේ බටහිර රටකය. ඒ තම දෙමව්පියන් සමගින්ය. ඇයට තව එක් සහෝදරියක් සිටී.

කුඩා කල සිටම සිතාරා ගත කළේ අමුතුම ජීවිතයකි. ඇයගේ සිතුම් පැතුම් අන් තරුණියන්ට වඩා වෙනස් විය. ගති පැවතුම් ද එලෙසමය. කොටින්ම කියතොත් ඇය අන් තරුණියන්ට වඩා හාත්පසින්ම වෙනස් තැනැත්තියක් වූවාය.

නිසි වයසට පැමිණීමත් සමග සිතාරාගේ යෙහෙළියන් තරුණයන් සමග පේ‍්‍රම සම්බන්ධතා පැවැත්වුවත් කිසි දිනෙක ඇය එවැනි සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැත. පිරිමි පාර්ශ්වය පිළිබඳව කිසිදු හැඟීමක් ඇයට නොතිබුණි. ඒ ඇය lesbian තරුණියක් වූ නිසාය. දෙමව්පියන් සහ ඇයගේ ළඟම හිතවතුන් ඒ පිළිබඳව දැන සිටියහ.

බටහිර රටක ජීවත් වූ නිසා සිතාරාට දෙමාපියන්ට සහ අන් අයට ඒ පිළිබඳව ගැටලූවක් තිබුණේ නැත.

ජෙනිෆර් එලිසබෙත් කාටර් කැනඩා ජාතික තරුණියකි. ඇයද සිතාරා මෙන්  කාන්තාවකි. මෙම දෙදෙනා දැන හඳුන ගන්නේ දැනට වසර කිහිපයකට පෙරයි. එම දැන හඳුනා ගත්දා සිට මොවුහු අතර ලොකු මිත‍්‍රත්වයක් ගොඩනැඟුණහ.

කලක් ගත වෙද්දී එම මිත‍්‍රත්වය පේ‍්‍රම සම්බන්ධතාවයකට පෙරලූනි. දෙදෙනාට දෙදෙනා ආදරය කරන්න පටන් ගත්හ. ඒ අනුව ඔවුන් ජාතීන් දෙකකට අයත් lesbian බවට පත් විය.

ඔහුන්ගේ ආදර කතාවට වසරක් ගතවීමෙන් පසු දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ට ඒ පිළිබඳව පැවසූහ. ඒ අනුව ඔවුන්ද එක පයින්ම මෙම විවාහයට කැමති විය.

ඒ අනුව සිතාරා සහ ජෙනිෆර් මංගල උත්සවය ගත යුතු වූ ආකාරය පිළිබඳව සැලසුම් කළහ. ඒ දෙමාපියන්ගේ සහ මිතුරු මිතුරියන්ගේ අදහස් ද සමඟින්ය.

නියමිත දිනය උදාවිය. සිතාරා සාරියකින් සැරසී උඩරට මනාලියක් ලෙසත්, ජෙනිෆර් ගවුමකින් සැරසී බටහිර මනාලියක් ලෙසත් විවාහය පැවැත්වීමට නියමිතව තිබූ ඇල්බාර්ටාහි එඞ්මන්ටන්හි පිහිටි උත්සව ශාලාවට ඇතුළු විය. ඒ දෙදෙනාගේම දෙමව්පියන් සහ හිත මිතුරන් සමගින්ය.

උත්සව ශාලාව විදුලි බුබුළු සහ මල්වලින් අලංකාරවත් ලෙස සරසා තිබුණි. එයට අමතරව සිංහල චාරිත‍්‍රවලට අනුකූලව පසෙකින් ලස්සන පෝරුවක් සකසා තිබුණි.

නියමිත වෙලාව උදාවිය. වම් පසින් සිතාරාගේ දෙමව්පියනුත්, දකුණු පසින් ජෙනිෆර්ගේ දෙමව්පියනුත් මනමාලියන් දෙදෙනාව පෝරුව වෙත නැග්ගූහ. ඉන්පසු අත පැන් වත්කොට දෙදෙනා මංගල මුදු සහ කරමාල හුවමාරු කරගත්හ.

සිතාරාගේ සහෝදරිය නීතිඥවරියක් සහ විවාහ කොමසාරිස්වරියකි. එම නිසා මෙම විවාහයේ සියලූ කටයුතු නීත්‍යානුකූලව සිදුකළේ ඇය විසින්ය.

යුග දිවියට ඇතුළු වීමෙන් පසු දෙදෙනා පොල් ගෙඩිය බිඳීමෙන් පසු පෝරුවෙන් බැස්සහ.

එම විවාහ උත්සවය සිංහල සිරිත් විරිත්වලට සහ බටහිර චාරිත‍්‍රවලට අනුකූලව පැවැත්වුණි. විවාහ වීමෙන් පසු මනමාලියන් දෙදෙනා පැමිණි සිටි අමුත්තන් අමතා මෙසේ ප‍්‍රකාශ කළහ.

‘‘අපි lesbian,ජාතීන් දෙකකට අයත් යුවළක් වන අතර අපේ විවාහ මංගල්‍යයත් තරමක් සුවිශේෂී එකක්. අපිට ඕන වුණේ ඒක ඉතාම නිදහස් විනෝදකාමී එකක් කරන්න. අපේ ආරාධිතයන්ට අපිත් එක්ක සතුටු වෙන්න ඉඩ හරින්න. අපි තෝරගත්ත ශාලාව ඩවුන්ටවුන් එඞ්මන්ටන්වල හොලිඬේ ඉන් එක සුන්දර වගේම මිල අධික නොවන තැනක්.”

‘‘අපි බස් එකක් හයර් කළා එඞ්මන්ටන් ට‍්‍රාන්සිට් එකේ ඉඳන් අපිව ෆොටෝ ගන්න අරන් යන්න. ඩ‍්‍රැග් ක්වීන්ලා දෙන්නෙක් (ගැහැණු විදිහට අඳින පළඳින පිරිමින්) හිටියා අපේ අමුත්තන්ව පිලිගන්න. අපිට හරිම සතුටුයි අපේ සුන්දරම දවසෙ හැමදේම හරියට සිද්ධ වුණු එක ගැන.”

මේ යුවළ අතිනත් ගැනීමේදී එකිනෙකාට පොරොන්දු වූයේ මෙලෙසින්ය.

‘‘ජෙනිෆර් එලිසබෙත් කාටර්වන මම, සිතාරා සඳමාලි ෆර්නැන්ඩො වන මම, මගේ ආදරණීය භාර්යාව සහ ජීවිතයේ සහකාරිය හැටියෙන් භාරගන්නා බවටත් අද පටන් සෑම මොහොතකම ඔබ සමීපයෙන්ම සිටින බවටත් ඔබව දිවිහිමියෙන් විශ්වාස කරන බවටත්, ඔබේ පුද්ගලිකත්වයට ගරු කරන බවට සහ ගෞරවයෙන් ඔබව රැකබලා ගන්නා බවටත් නිරන්තරයෙන් ඔබව දිරිගැන්වීමට සහ සහයෝගය ලබා දීමට කැපවන බවටත් ඔබ සමග මගේ සතුට දුක බලාපොරොත්තු සහ සිහින බෙදාගන්නා බවටත් අද පටන් ජීවිතය පුරාම ඔබ සමගම රැඳෙන බවටත් පොරොන්දු වෙමින් ඔබේ අත ගන්නවා.”

‘‘මේ මුදුව සදාකාලයටම අපේ මංගල දවසෙ පොරොන්දුවත් ඔබ ගැන ඇති මගේ ආදරයේ සහ කැපවීම පිළිබඳ සිහිවටනයත් වනු ඇති.”

විවාහය සිදුකරන කාන්තාව වන සිතාරාගේ සහෝදරිය මෙලෙස පැවසුවා ය.

‘‘ඔබ දෙපළ, බිරිඳ සහ බිරිඳ වශයෙන් ප‍්‍රකාශ කරන අතර හාදුවකින් එය තහවුරු කරන මෙන් ඉල්ලා සිටිනවා”

(සිතාරා සහ ජෙනිෆර් ඉතාම ආදරෙන් ඔවුනොවුන් සිපගන්නවා.)

තවමත් පිරිසකට අසම්මතයක් වූ මේ විවාහයට ඔහුන්ගේ දෙමව්පියන් සහ පැමිණි සිටි පිරිස ඉතාමත් ආදරෙන් ආශීර්වාද අනුශාසනා කළහ. එලෙසම අප ද එම මනමාලියන් දෙදෙනාට සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට ආශිර්වාද කරන්නෙමු.

සමලිංගිකත්වය, ද්වීලිංගිකත්වය සහ විෂම ලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද විෂමලිංගික – සමලිංගික වර්ණාවලියේ ඇති ප‍්‍රධාන ලිංගික දිශානති වර්ගීකරණ තුනෙන් එකකි.

එක් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය තීරණය වන්නේ කෙලෙස දැයි විද්‍යාඥයන් විසින් නිශ්චිතවම හඳුනාගෙන නැතත්, එයට ජානමය, හෝමෝනමය සහ පාරිසරික බලපෑම් අතර සංකීර්ණ අන්තර්ක‍්‍රියාවක් හේතුවන බව ඔවුන්ගේ විශ්වාසය වෙයි.

ගයාන් සමරසිංහ ( දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගැනීමක් )

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here