සති දෙකහමාරකට කලින් Subscribers 80 වත් නෑ…දැන් එක්ලක්ෂ පනස්දාහට ලගයි..කෙටිම කාලෙකින් Subscribers ලක්ෂය ගත්තු කවුද මේ සඳරු

0

“සති දෙකහමාරකට කළින් Subscribers 80 ක් වත් හිටියේ නෑ. අද Subscribers 100,000 ක් ඉන්නවා. මේ වෙද්දි ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි රටවල පවා Viral වෙලා..”මෙලෙස තමන්ගේම අනන්‍යතාවක් ගොඩ නගමින් ඉතා කෙටි කාලයකින් Subscribers ලක්ෂයේ සීමාව පසු කරපු සඳරු සත්සර තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ.

ඔබ ගැන පුංචි හැදින්වීමක් කලොත්?

මම සඳරු සත්සර. වයස 24 යි. මම ඉන්නෙ කලුතර. අපේ පවුලෙ මමයි මගෙ නංගියි, අම්මයි තාත්තයි තමයි ඉන්නෙ. මගෙ පාසල ක/ පොතුවිල නවෝද්‍යා විද්‍යාලය.ඒක මගෙ ගමේම ස්කෝලෙ. දැන් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ උසස් අධ්‍යාපනය හදාරනවා.

ඔබ කරන නිර්මාණ මොනවාද?

මම සංගීතය ඔස්සේ අලුත් අලුත් නිර්මාණ කරන්න තමයි කැමති. විවිධ අත්හදාබැලීම්, මගේම කියලා unique එකක් හදාගන්නයි හැමතිස්සෙම උත්සහ කරන්නෙ. ඉතින් මේ ළඟදි viral වුණ මගෙ නිර්මාණත් ඒ වගේ අත්හදාබැලීමක් තමයි.

ඔබ මේ වෙනකොට ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

එහෙම ජයග්‍රහණ කියලා මහලොකු දේවල් ගොඩක් නෑ. මං හිතන්නෙ පළමුවෙන්ම ලැබුණ ජයග්‍රහණය විදිහට විශ්වවිද්‍යාල වරම් ලබාගත්ත දවස. ඊටපස්සෙ මට youtube හරහා මේ වගේ නිර්මාණ සමාජයට දෙන්න ලැබීමත් ලොකු ජයග්‍රහණයක් විදිහට කියන්න පුළුවන්.

අධ්‍යාපනයත් එක්ක කොහොමද සමබරව කරගෙන ගියේ ?

ඒකනම් ලොකු දෙයක් නෙවෙයි මට දැනෙන විදිහට. අධ්‍යාපන කටයුතු වලට අමතරව වෙන විශේෂ වැඩ නැති නිසා මට නිදහස තියෙනවා මගේ content කරන්න.

විශ්ව විද්‍යාලයේදි ඔබට දක්ෂතා එලිදක්වන්න ලැබුනු අවස්තා ගැන මතක් කලොත්?

විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබලා මේ වෙනකොටත් කෙටි කාලයක් වගේ නිසා තවම ඒ වගේ අවස්ථාවන් ලැබිලා නෑ.

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද?

එහෙමනම් අභියෝග කියලා දෙයක් මට දැනෙන විදිහට ඇවිත් නෑ. සමහරවිට එන්න ඇති. ඇවිත් යන්න ඇති. මට ඒවා එහෙම ලොකුවට දැනෙන්නෙ නෑ. මොකද හැම දෙයක් ගැනම සරල විදිහට බලන නිසා.

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කරන්න පුළුවන්. Keyboard වාදකයෙක් විදිහට මීට කලින් සංගීත කණ්ඩායම් කිහිපයක වාදනය කරලා තියෙනවා. භාත්ඛන්ඩෙ සංගීත විද්‍යාපීඨයේ විශාරද පාඨමාලාවත් මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා තබ්ලා වාදන අංශයෙන්.

ඔබට මේ ගමනට උදවු කල අය කවුද?

මේ වෙනකොට මම යම් තැනක ඉන්නවනම් ඒ තැනට එන්න උදව් කරපු අය විදිහට මම සලකන්නෙ මගේ content බලලා ඒවා share කරලා සහයෝගය දුන්න අයව. මගෙ වටා ඉන්න subscribers ලා. එයාලා නැත්තම් මට මේ තැන ලැබෙන්නෑ. තව මේ ගමන එද්දි මට උපදෙස් දීපු හැමෝටමත්, වචනෙකින් හරි සහයෝගය දීපු අයටත් ස්තූතිවන්ත වෙන්න ඕනා.

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

ලංකාවට විතරක් නෙවෙයි international audience එකටත් අපේම කියලා රහකට සහ unique වුණ සංගීත නිර්මාණ ඉදිරිපත් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් විදිධ අත්හදාබැලීම් කරමින් තමයි දැනටමත් ඉන්නෙ.

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?

මම කියන්නෙ හැමතිස්සෙම අලුත් දේවල් ගැන හිතන්න. තමන්ව විශ්වාස කරන්න. තමන්ටම කියලා පැහැදිලි ඉලක්කයක් තියාගන්න. ඒ ඉලක්කය කොයිම මොහොතකවත් අමතක වෙන්න දෙන්න එපා. තමන් අනිවාර්යයෙන් තමන්ගෙ ඉලක්කයට යනවා කියලා හිතාගන්න ඕනා. තමන්ගෙම අනාගත ලෝකයක ජීවත් වෙන්න. ඒවා දවල් හීන විදිහට දකින්න එපා. ඒ හීන තමයි ඔයාව ඔයාගෙ ඉලක්කයට අරගෙන යන්නෙ. කොයි මොහොතකවත් ඍණාත්මක විදිහට හිතන්න එපා. හැමදේම වෙන්නෙ හොඳට. ප්‍රතික්ෂේපවීම්, පරාජයන්, වලදි කඩාවැටෙන්න හොඳනෑ වගේම ප්‍රශංසා වලදි ඕනවට වඩා සතුටු වෙන්නත් හොඳනෑ. හැම දේම මධ්‍යස්ථව බාරගන්න.සරල විදිහට හිතන්න. එතකොට තමන්ට තමන්ව හම්බවෙයි. දන්නෙම නැතුව තමන්ගෙ ඉලක්කයටත් යයි.

බොහොමත්ම ස්තුති අද අපිත් එක්ක එකතු වුනාට.මේ මොහොත වන විට ඔබ ඉතාමත් අඩු කාලයකින් subscribers ලක්ෂයේ සීමාව පසු කලා.ඉතින් ඔබවට එකතුවෙලා ඉන්න දෙස් විදෙස් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබේ ඉදිරි නිර්මාණ වලට හදවතින්ම සුභ පතනවා.
ඔබට ජය!

Youtube – Sandaru Sathsara සටහන – Lakshan Sandaru

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here