පස්සර අනතුරින් දෙමව්පියෝ නැති උණු දරුවන් භාරගත් පිංවන්ත දොස්තර සහ ටීචර්.

0

බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා භාර ගැනීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ ඉදිරිපත් වී ඇත.

දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා හා අම්පාර පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කරයි.
මේ වන විට වෛද්‍යවරයා එක් දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ ගුරුවරියකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ තමාට මෙම දරුවන් තිදෙනාගේම වගකීම බාරගත හැකි බවයි. දරුවන් තිදෙනාම වෙන්නොකර එකම නිවහනක ජීවත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු කියති.

ඒ පිළිබඳ අදහස් දැක් වූ වෛද්‍ය වජිර මෙසේද සඳහන් කළේය.
‘‘මේ දරුවන් තුන්දෙනා හදාගන්න කෙනෙක් අවශ්‍යයි කියලා නිවුස් එකක් ගියා. පස්සේ මම තීරණය කළා මේ දරුවෝ තුන්දෙනාම අපි හදා ගන්න ඕනේ කියලා. මම රෑ මේ ගැන කල්පනා කරලා තීරණය කර ගත්තා. නමුත් ඒ මොහොතේ බිරිඳට කිව්වේ නැහැ. බිරිඳ පහුවැනිදා උදේ නැගිටලා මට කිව්වා බස් අනතුරෙන් අම්මයි තාත්තයි නැති වුණු බබාලා තුන්දෙනෙක් ඉන්නවා අපි හදාගන්න ගමුද කියලා. ඒ ගමන මගේ තීරණෙත් බිරිඳට කිව්වා. අපි දෙන්නාගේම කැමැත්තෙන් තමයි මේ දරුවෝ තුන්දෙනා දරුකමට හදාගන්න හදන්නේ.’’
කෙසේ නමුත් තමා දරුවන් හදා ගැනීමට ඉල්ලීම් කළ පසු එක් දරුවකු හෝ තමන්ට ලබා දෙන ලෙස කීප දෙනකුම දුරකථනයෙන් ඉල්ලීම් කළ නමුත් එම දරුවන් වෙන් නොකර හදා ගැනීම ඔවුන්ගේ මානසික වර්ධනයට පිටිවහලක් වන බවද ඔහු සඳහන් කළේය.

දරුවන්ට උදව් කිරීමට මේ වන විට විශාල පිරිසක් ඉදිරිපත් වෙමින් සිටින නමුත් දරුවන් තුන්දෙනා හදා ගැනීමට තමාට ආර්ථික ශක්තියක් තිබෙන බව වෛද්‍යවරයා කියයි. කිසියම් කෙනකු දරුවන්ට උදව් උපකාර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් ඉදිරිපත් විය හැකි බවද කියා සිටී.

වෛද්‍ය රාජපක්ෂ මහතා මේ වන විට අම්පාර රෝහලේ කොරෝනා මර්දනය සඳහා කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here