රටක් එළිය කළ බුදු පුතුගේ අදිසි වියෝවෙන් අවුරුදු 17ක් දුක උහුලන් නික්ම ගිය මවක්

0

සම්බුදු සසුනත්, සසුන රැකි ජාතියත්, ඒ සසුන සමඟ ජාතිය ජීවත් වන මවු දෙරණත් සුරක්ෂා කොට මතු පරපුරට දායාද කිරීමේ මෙහෙවර වෙනුවෙන් ජීවිතය කැප කළ පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් කොට වසර 17 ක් ගෙවී අවසන් ය. ඒ උතුම් සංඝ නේතෘන් වහන්සේ දස මසක් තම කුස තුළ දරාගෙන මෙලොවට බිහිකොට ගත දුවන රත් පැහැ ඝන රුධිරය කිරට හරවා පොවා අපමණ සෙනහසින් හදා වඩා පෝෂණය කොට සම්බුදු සසුනට පූජා කළ පිංබර මෑණියන් වහන්සේ ද (චාලට් නෝනා වීරතුංග) තම දිවිසැරිය නිමවා ඇති මේ මොහොතේ පූජනීය ගංගොඩවිල සෝම මාහිමියන් ගැනත් ඒ මවුතුමිය ගැනත් මතක සටහනක් තබන්නෙමු.

චාලට් වීරතුංග මාතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැදැහැවත් ගුණවත් බුද්ධිමත් කුල කාන්තාවකි. තම පුතු සසුනට පූජා කළ තැන් පටන් ඇය සිතුවේ සියලූ හාමුදුරුවරු ‘මගේ’ ‘අපේ’ යන හැඟීමෙනි. කොයි මොහොතේ නිවසට හිමි නමක් වැඩිය ද අව්‍යාජ පිරිපුන් සිනහවකින් මුව සරසා ගෙන අපමණ සැදැහැබර සිතින් ඉතා කඩිසරව පසඟ පිහිටුවා වැඳ ගිලන්පස පිළිගැන්වීමට කිසිවිටෙකත් අමතක කළේ නැත. අසනීපව ලෙඩ ඇඳේ සිටියත් තම පුතුට (පත්මසිරි) හා ලේලියට ඒ ගැන මතක් කරන්නට අමතක කළේ නැත. සෝම මාහිමියන්ගේ අදිසි හදිසි අපවත්වීම ඇයට දරාගත නොහැකි කම්පනයක් ඇති කළේ ය.

කවුද මේ අහස පොලොව නුහුලන දේ කළේ!! කුහුඹුවකුටවත් මදුරුවෙකුටවත් කරදරයක්  නොකරන මගෙ බුදුපුතා හොරු අරං ගියා වගේ අරගෙන ගියා…ආදී වශයෙන් ඇගේ සෝගිනි දෙනෙතින් කඩා වැටුණු උණු කදුළු කැට අතර සඟවාගත් අයුරු නොදන්නා කෙනෙක් නැති තරම් ය.

වසර 17 ක් ම ඇය ඒ ගිනි උහුලා ගෙන, සිත සැනසීමට පත්කර ගත්තේ රට දැය සමයට සෝම හාමුදුරුවන් කළ මෙහෙවර ගැන සිතා බුදුබණ පදයට හිත ළංකර ගෙනය.

‘‘සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි” යන තේමාවෙන් ජනවිජය පදනම පිහිටවා කටයුතු කළ අපේ සෝම හාමුදුරුවෝ සියලූ ජාතින්ගේ සදාචාර පැවැත්ම ට උපකාරී වූ කාලීන අනුශාසනා අදටත් ජන හදවත් තුළ ජීවමානය. සෝම හාමුදුරුවන් ගැන උන්වහන්සේගේ ආදාහන උත්සව අවස්ථාවේ දී මහරගම ධම්මසිරි නාහිමියන් කළ ප‍්‍රකාශයක් සිහිපත් වේ. පරම පූජනීය මඬිහේ මහ නා හිමියන්ගේ හා අතිපූජ්‍ය අම්පිටියේ ලොකු හාමුදුරුවන්ගේ සිසු පිරිස අතරේ මහරගම ධර්මායතනයෙන් බිහි වූ විශිෂ්ටතම ශිෂ්‍ය රත්නය සෝම ස්වාමීන් වහන්සේ බවයි. එබඳු වීර යතිවරයන් වහන්සේ නමක් මෙලොවට බිහි කළ අම්මා කෙනෙක් ජාතියට සමුදෙන මොහොත අතිශය සංවේග දනවන කරුණකි.

එල්.ටී.ටී යෙන් මව්බිම බේරාගැනීමට වීරෝදාර රණ විරුවන්ගේ ආත්ම ශක්තිය ගොඩනැංවීමට සමත් වූ අපේ සෝම හාමුදුරුවෝ වෙඩි හඬ මැද අභීතව හමුදා කඳවුරුවල ධර්මදේශනා කරන්නට කිසි විටෙකත් පසුබට නොවූහ.

උතුරු පළාතේ චාරිකා දම් සැරිය විහිදුවා ලූ උන්වහන්සේ කේන්ද්‍ර කර ගත්තේ අනුරාධපුර වජිරාරාමයයි. තත් විහාරාධිපති ගෞරවාර්හ පොල්ගහවෙල අබේසීහ හිමියන් අප සමඟ ඒ අතීතයෙන් බිඳක් සිහිපත් කරමින් පවසා සිටියේ සෝම හාමුදුරුවන් කුච්චවේලි ප‍්‍රදේශයේ චාරිකාවේ වැඩම කිරීම වෙනුවෙන් අණදෙන නිලධාරී කේ. සී. ගුණවර්ධන මහතා ඒ සඳහා එක් වූ බවත්, අවශ්‍ය කටයුතු සංවිධානය සඳහා මුල් වී ක‍්‍රියා කළ බව ද, විධායක අණදෙන නිලධාරී නවරත්න මහතා සමඟ පිරමානායකුලම්, කොකාවිල්, සම්පත් නුවර, ගල්කුලම ආදී ත‍්‍රස්ත උවදුර පැවැති දුෂ්කර හා භයානක මෙන්ම අධි අවධානම් සහිත ප‍්‍රදේශයන්හී ජනතාව මෙන් ම රණවිරුවන්ගේ හිතසුව පිණිස වැඩම කළ බවය.

ගොවි ජනතාව දිරිගන්වමින් කෘෂි උපකරණ පරිත්‍යාග කිරීම පිණිස කිරිඉබ්බන්වැවට වැඩම කළ බවත් දැනගන්නට ලැබිණි. යුද ගිනිදැල් පැවැති සමයේ ඒ ගම් බිම්වල නම් ඇසෙන විටත් බිය ඇතිකරවන සමයක අපේ සෝම හාමුදුරුවෝ අභීතව ඒ යුගකාරක මෙහෙවර සපුරාලීමට සමත් වූයේ ද තම මෑණියන්ගෙන් සෙනහස කැටිව පෙරී ආ සූර වීර ධීර ගති ලක්ෂණ හේතු වූවා යැයි කීම අතිශෝක්තියක් නොවනු ඇත.

අසරණ සරණ සේවාව, ගිලන් උපස්ථානය, සියතින්ම පියතුමා කවා පොවා නහවා මියන තුරු ආදරයෙන් පෝෂණය කොට රැකබලා ගැනීම, මෑණියන්ට ධර්ම දායාද ලබා දෙමින් කටයුතු කිරීම සෝම හාමුදුරුවන්ගේ ජීවිතයේ කැපී පෙනෙනු සුවිශේෂී ගුණාංගන් ය.

වන්ද්‍යාකරණයට එරෙහිව කටයුතු කළ අතර සිංහල බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීමට එරෙහිව අභීත ලෙස කටයුතු කරමින්, තරුණ පිරිස සුරාවෙන් සූදුවෙන් හා විවිධ විෂමාචාරයන්ගෙන් මුදවාලීමට අවශ්‍ය මං පෙත් විවර කරදීම, සියලූ මිත්‍යාදෘෂ්ඨිවලින් ජනතාව සම්මාදිට්ඨිය කරා යොමු කරමින් මිත්‍යා දේව සංකල්ප සුණු විසුනු කොට තුණුරුවන් නිසි තැන තබමින්, බෞද්ධ දේව සංකල්පය ඉස්මතු කොට අභිමානවත් බුද්ධිමත් සිංහල බෞද්ධ පිරිසක් ලක්දිව යළි නඟාසිටුවීමට අපේ සෝම හාමුදුරුවන් කළ අත්‍යුදාර මෙහෙවර අවසන් ගමන් ගිය ආදරණීය මෑණියන් වහන්සේට අමා මහ නිවනෙහි නිවී සැනසීමට ඒකාන්තයෙන් ම උපනිශ‍්‍රය වේවා යන්න අපගේ ඒකායන ප‍්‍රාර්ථනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here