රාහු, කේතු, සෙනසුරු, කුජ යන නම් ඇසූ පමණින් ජනතාව බිය වන සුලුය. සැබවින්ම ඒ අය පීඩිත ජනතාව තව තවත් පීඩාවට පත් කරන බව රහසක් නොවේ. එයිනුත් වැඩි කාලයක් එක රාශියක හැසිරීම නිසා මේ පීඩාව ඉතා හොඳින් දැනෙනු ඇත. සෙනසුරු එක රාශියක වසර 2 1/2ක් බැගින් රාශි දොළස අවසන් කර නියම තැනට ඒමට වසර 30ක් ගත වෙයි. රාහු සහ කේතු එක රාශියක ගත කරන කාලය වසර 1 1/2 බැගින් රාශි දොළස අවසන් කිරීමට වසර 18ක් ගත වෙයි. මේ නිසාම හොඳ හෝ නරක කෙනකුට වැඩි කාලයක් පුරා අත්විඳීමට සලසන මේ ග්‍රහයන් ජනතාවට අමතක නොවන සනිටුහන් තබා යන බව ජ්‍යොතිෂය අනුගමනය කරන අයට වැටහෙනු ඇත.
රාහු -කේතු අන් ග්‍රහයන් මෙන් නොව අදෘෂ්‍යමාන ඡායා ග්‍රහයෝ ය. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන අතරේ චන්ද්‍රයා තමා වටා භ්‍රමණය වෙමින් පෘථිවිය වටා ගමන් කරමින්ම සූර්යයා වටා ද ගමන් කරයි. මේ ක්‍රියාවලියේදි පෘථිවි කක්ෂයත් චන්ද්‍ර කක්ෂයත් එකිනෙකට කැපී යන ස්ථාන දෙකක් ඇතිවෙයි. ඒ ස්ථාන දෙක පිළිවෙළින් උතුරු ලක්ෂය රාහු ලෙසත් දකුණු ලක්ෂය කේතු ලෙසත් හඳුන්වනු ලබයි. මෙහි කැපී පෙනෙන ස්ථාන දෙක හෙවත් රාහු කේතු එකිනෙකා සප්තමව පිහිටා ඇත. මේ ගමන වක්‍රව කෙරෙන්නකි. ඒ නිසා රාහු කේතු ඔවුනොවුන්ට අංශක 180 කින් ඈත් ව සිටී.
රාහු සහ කේතු දිනකට අංශක 3 කලා 11ක් ගමන් කරයි. වර්ෂයකට අංශක 19 කලා 20 කි. රාහු හා කේතුට එක් රාශියක් ගමන් කිරීමට ගත වන කාලය මාස 18කි. රාශි චක්‍රය වටා ගමන් කිරීමට ගත වන කාලය වසර 18කි. ඒ නිසා රාහු කේතු ජනතාවට කරන පීඩාව හෝ යහපත හොඳින් දැනෙනු ඇත.
ස්වරභාග, අසුර, අර්ධකාය, චිත්‍ර නන්දන, චන්ද්‍රාදිත්‍ය, රෞද්රරූපී, රක්ත නේන්ද්ර රහු හඳුන්වන නම් වන අතර මෘත්‍යු පුත්‍ර, අහල, ධුම, ශිඛි, කේතු හඳුන්වන පර්යාය නාමයන් ය.
මහා ඍෂි මතයට අනුව රාහු වෘෂභයේ උච්චය කටකයේ මූල ත්‍රිකෝණය, කන්‍යාවේ ස්වක්ශේත්රය වෘශ්චික කේතුගේ උච්ච රාශියයි. මිථුන මූල ත්‍රිකෝණ රාශිය වන අතර ධනු මීණ ස්වක්ෂේත්ර රාශියයි. රාහුට මනුෂ්‍ය ශරීරයක් හා හිස නයි පෙනෙයක ස්වරූපයෙන් ද කේතුට මනුෂ්‍ය ශරීරයක් හා ඉනෙන් පහළ සර්ප කඳක් ද පිහිටා තිබීමෙන්ම ජනතාව අතර අසුබවාදී දෘෂ්ටියක් ගෙනහැර දක්වා තිබීම ම මේ ග්‍රහයන් පිළිබඳ බිය උපදවන සුලු වෙයි.
ඒ කෙසේ වෙතත් රාහු කේතු පිළිබඳ විවිධ මත පළ කළ හැකි වුව ද 2020 සැප්තැම්බර් 23 දින පෙරවරු 10.43ට රාහු වෘෂභ රාශියටත් කේතු වෘශ්චික රාශියටත් සංක්‍රමණය විය. රාහුට වඩා කේතු අංශක 180 ක දුරින් පිහිටි නිසා සැම විටම කේන්ද්‍රගත වීමේදී රාහුත් ඍජු දෘෂ්ටියක එනම් ඊටම ප්‍රතිවිරුද්ධ රාශියේ පිහිටයි. මේ අනුව රාහුට උච්ච ස්ථානය කේතුට නීචව ද කේතුට උච්ච ස්ථානය රාහුට නීචවද විද්‍යමාන වේ. ඒ අනුව වූ රාහු වෘෂභයටත් කේතු වෘශ්චිකයටත් සංක්‍රමණය වූ මේ මොහොත අපට ලග්න වශයෙන් බලපාන අයුරු සලකා බලමු. විශේෂයෙන් ම රාහු කේතු සෙනසුරු කුජ ඍජුවම පීඩිත ජනතාවට බලපාන දුකට, එසේත් නැතිනම් අගතියට පත් කෙරෙන නපුරු අසුබවාදී ග්‍රහයන් ලෙස හැඳින්වූවද මෙවර උච්ච වන රාහු කේතු රට ජනතාවට බලපාන ආකාරය සතුටුදායක වෙයි. මීට පෙර පීඩාකාරි ලෙස හැසිරුණු රාහු කේතු නිසා අප රටේ ව්‍යසනකාරි පරිසරයක් ගොඩනැඟුණි. වසංගත උවදුරු, රාජ්‍යතාන්ත්‍රික අවුල් වියවුල්, පාරිසරික ව්‍යසන, අසමගිතා ඇතුළු නොමනා දේ සිදුවිය. විශේෂයෙන්ම මත්කුඩු – මත් උවදුරු – පාතාල – අවිහරඹ එදිරිවාදිකම් අවිනීතික කටයුතු ද පරිසර විනාශයන් ද බොහෝ සිදුවනවා අපි දුටිමු. එහෙත් අද ඒ සැම අවසන් කරන්නට මෙන් රාහු, කේතු මෙතැන් සිට යහපත් ගමනක් අරඹා ඇතැයි සිතීමට පුළුවන. ඒ අනුව අපි එකිනෙක ලග්නවලට බලපාන අයුරු සලකා බලමු. සංක්රමණයෙන් රාහු කේතු 2039 අප්‍රේල් 30 දක්වා පවතී.
මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 02 වැන්නටත් කේතු 08 වැන්නටත් පැමිණ ඇති නිසා විටින් විට ආර්ථික පීඩා අවහිරතා පැමිණෙනු ඇත. ශරීර සෞඛ්‍යය ද අයහපත් වීමට ඉඩ ඇත්තේ 8 වැන්න වන අසුබ ස්ථානයේ කේතු පීඩාවක් සිදුවිය හැකි නිසාය. ඒ අනුව තුනටියේ අමාරු උගුරේ ආසාදිත මතුවේ. ඒ අතරම සොර සතුරු කරදර තම ධන සම්පත් කෙරේ එල්ලවිය හැකිය. විශේෂයෙන් ඔබ ඇසුරු කරන අයගෙන් ප්‍රවේශම් විය යුතුයි. කරන කටයුතු දෙවතාවක් සිතා බලා කළ යුතු වෙයි. ආගමික කටයුතු කෙරේ යොමුවන්න.
වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු ලග්නගත වී කේතු 7 වැන්නට පැමිණීම මානසික අසහනය දලුලන අතර එදිනෙදා කටයුතු පිළිවෙළට කරගෙන යෑමට නොහැකි වීම නිසා සිත් තැවුල්, තරහ කේන්තිය ඇති වීම යනාදියට හේතුය.
විවාහස්ථානගත අසමගිතා නොසන්සුන්තා වලට මුහුණ දීමට බොහෝවිට සිදුවන නිසා කල්පනාකාරී වන්න. තම එදිනෙදා කටයුතුවලදී සුපරික්ෂාකාරි වන්න. නොඑසේ නම් අත් වැරදීම් අතපසුවීම් නිසා පීඩා විඳීමට සිදුවනු ඇත. ආදරය ආලය වැනි කටයුතු කෙරෙන් සිත් තැවුල් ඇති වනු ඇත.
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 02 වැන්නට හා කේතු 06 වැන්නට පැමිණීම නිසා ඔබට ව්‍යාපාර ලාභ හිමි විය හැකි නමුත් ඒවා ඉතා ක්ෂණයෙන් නැති නාස්ති වීමට ඉඩ තිබේ.
තවද යටි බඩ ආශ්රිත උවදුරු මුත්‍රා දෝෂ මුත්‍රගල් හා වකුගඩු රෝගය පවතින අයට එම රෝග උත්සන්න වීමටද හේතු වේ. කෙසේ නමුත් ඔබ ප්‍රවේශම් වනවා නම් ඉතා හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කරනවා නම් ඒවා වළකාගැනීමට ඔබට හැකිවනු ඇත. ඔබ පිටරටකට යෑමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සුදුසු පසුබිම සැකසේ.
කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 11 වැන්නටත් කේතු 05 වැන්නටත් පැමිණීම ලැබීම් ඇති කරන ව්‍යාපාර ලාභ මතු කෙරෙන පිහිටීමකි. 11 ඒ රාහු උච්චවීම ඔබට දණහිස ආශ්රිත වේදනා කැක්කුම් ඇති කළද ඒ තම කාර්ය බහුලත්වය නිසා මිස රෝගී තත්ත්වයක් මත නොවනු ඇත.
තරමට සුදුසු ලෙස තම ශ්‍රමය කැපවීම කළ යුතුය. කුස ආශ්රිත යම් ආසාදිත තත්ත්වයක් සැර උෂ්ණ ගතියක් මතුවිය හැකි නිසා උෂ්ණ ආහාර පානාදියෙන් ප්‍රවේශම් වන්න.උපරිම වතුර පානය, නිසි වේලාවට ආහාර ගැනීම සුදුසු වනු ඇත.
සිංහ ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ රාහු 10 ටත් කේතු 4 ටත් පැමිණ උච්චවීම රැකියාගත ප්‍රශ්න රැසකට විසඳුම් ලැබේ.
රාහු සුදුසු තැන 10 වැන්න වන අතර 10 වැන්න රැකියා ස්ථානයද වන නිසා එය එසේ වන අතර වියදම් පැත්ත නම් ඉහළ යනු ඇත. ඔබ ඉතා සුපරික්ෂාකාරි විය යුත්තේ සකසුරුවම් බව සමානාත්මතාව පිළිබඳවයි. තවද සැර උෂ්ණ ආහාර රටාව නිසා අගුණ ඇති විය හැකි අතර පපුවේ වියළි බව සෙම වියළන බව පෙනෙන්නට ඇති නිසා ප්‍රවේශම් වන්න. දණහිසේ කැළැල් මතු කෙරෙන උවදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් වන්න.
කන්‍ය ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ රාහු 09 ට පුණ්‍ය ස්ථානගතව ද කේතු 03 වැන්න දේපළ පිළිබඳ නියෝජනය වන ස්ථාන ගතවද පිහිටා ඇති නිසා ජීවිතයේ තමාට හිමි බොහෝ සම්පත් උරුමවේ. ඒ සඳහා මෙතෙක් ඔබ ගෙන ආ පුණ්‍යක්‍රියා හේතුවනු ඇත. විශේෂයෙන් විවාහ පාර්ශ්වයෙන් හෝ තම මව පියා වැනි වැඩිහිටි පාර්ශ්වයකින් ලැබෙන ඒ වස්තු සම්පත් ඔබට කිසියම් අස්වැසිල්ලක් වනු ඇත.
ආගමික සහජීවනය සිතට ගෙන කටයුතු කරන්න. කලක් පැවති නීති ගැටලුවක් විසඳෙන ලකුණු පළවේ. ඒ තුළින් ආර්ථික වාසියක් ද හිමිවන බව පෙනෙන්නට තිබේ.
තුලා ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ රාහු 08ට කේතු 02 ට පැමිණීම ශාරීරික උපද්‍රව මෙන්ම මානසික අසහනකාරි තත්ත්වයකට මුහුණ දීමට සිදුවන කාලයකි. එහෙත් අධිෂ්ඨානය මත එම අසුබතා සුබ පැත්තට නැඹුරු කරවා ගැනීමට ඔබට පුළුවන.
කෙසේ නමුත් තුනටියේ අසුබතා උගුරේ ආසාදිත තත්ත්වයන්ට මුහුණ දීමට ඔබට සිදුවන නිසා කල්පනාකාරි වන්න.
කොයිදේ කළත් අපිළිවෙළ නිසා තමාට වන ආර්ථික පාඩු නොවැළැක්විය හැකි තත්ත්වයක් මතු කෙරෙන නිසා ප්‍රවේශම් වන්න.
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 07 වැන්නට හා කේතු 01 වැන්නට පැමිණ සිටීම නිසා විවාහගත යම් යම් මතභේද ඇති විය හැකි නමුත් කේතු ලග්නයේ නිසා ඒවා බුද්ධිමත්ව විසඳා ගැනීමට ඔබට හැකි වේ. ඒ අතරම අවිවාහක අයට විවාහ යෝජනා ද තරුණ තරුණින්ට ආදරය ආලය පිළිබඳ සහ සම්බන්ධතා ද එළඹෙන වකවානුවකි. තම කටයුතු කෙරේ අන් අයගේ ඇප උපකාර ලැබෙන බොහෝ අය ඔබගේ ශක්තිය පිණිස පැමිණෙන අධිෂ්ඨානය සිතට එන වකවානුවකි.
ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 06 ට හා කේතු 12 ට පැමිණ තිබීම විශේෂයෙන් විදේශගත අයෙකුගෙන් ඇප උපකාර ලැබෙන කාලයකි. යටිබඩ ආශ්රිත උවදුරු විශේෂයෙන් පාදයේ වළළුකර ආශ්රිත උවදුරු එළඹීමට පුළුවන. තවද මුත්‍ර ආසාදිතයන් – බඩු පිපුම ආදි රෝග තත්ත්වයන් නිසා ප්‍රවේශම් වන්න. තවද ඔබ කිසියම් ව්‍යාපාරයකට අතගසනවා නම් සුදුසුම කාලය මෙයයි. අන් අය ඔබට ඇප උපකාර සලසනු ඇත. එසේම ඔබ කරන ඕනෑම කටයුත්තක් අන් අයගේ පැසසුමට හේතුවනු ඇත. උපරිම වතුර පානය නිසි වේලාවට ආහාර ගැනීමට අමතක නොකරන්න.
මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 05 ට හේතු 11 ට පැමිණ තිබීම නිසා විශේෂයෙන් ඔබට හිමි වෙන්නට තිබී ඔබෙන් දුරස්වූ ආර්ථික ලැබීමක් ඔබට හිමි වෙයි. ජලාශ්‍රිත කටයුතු කෙරෙන් ඔබට වාසි සැලසේ. මේ දිනවල විශේෂයෙන් ලොතරැයි ජයග්‍රහණ හිමි වනු ඇත.
තරග විභාගාදියෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්වේ. කුස ආශ්රිත ආසාදිතයන් මතු කෙරෙන නිසා ප්‍රවේශම් වන්න. තව ද ඔබ හවුල් ව්‍යාපාර කිරීමේදී කල්පනාකාරි වන්න. නැත්නම් අන් අයගේ උපක්‍රම රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති නිසාය.
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 04 ට කේතු 10 ට පැමිණ ඇති නිසාත් වියදම් අධික කෙරෙන හදිසි උවදුරු කරදර පැමිණෙන කාලයක් නිසාත් ප්‍රවේශම් වන්න.
විශේෂයෙන් නහරගත රෝග පපුවට බලපාන තත්ත්වයකි. තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න.
දණහිස ආශ්‍රිතවද කැලැල් ඇති වීමේ අවදානම පවතින නිසා ගමන් බිමන් වලදී වාහනවලින් ගමන් කිරීමේදි ප්‍රවේශම් වන්න. නමුත් කැපවීමෙන් කටයුතු කළොත් ව්‍යාපාර ආයෝජනයක් සඳහා සුදුසුම කාලයකි.
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව රාහු 03 වැන්නටත් කේතු 09 වැන්නටත් පැමිණ සිටීම ඔබ පුණ්‍යවන්තයකු කරන පිහිටීමකි.
දෙමාපියන්ගේ ලැබිය යුතු උරුමයකට හිමිකම් කියයි. නැතහොත් ඔබගේ සහකරු හෝ සහකාරිය වෙතින් ලැබෙන්නට තිබෙන උරුමයක් ද විය හැකිය.
එය ඔබගේ පුණ්‍යවන්ත භාවය මත සිදු කිරීමට මෙම රාහු කේතු බලපෑම ඉවහල් වන අතර ආර්ථික වාසි මෙන්ම ඔබට කලක් තිස්සේ පැවතුණා වූ නීති ගැටලුවක් විසඳී යාම තුළ ආර්ථික ලැබීමක් ද විය හැකියි. කෙසේ නමුත් ඔබ උරහිස ආශ්රිත දණහිස ආශ්රිත හදිසි ආපදාවකට ගොදුරුවිය හැකි නිසා කල්පනාකාරී වන්න.
සිළුමිණ පුවත්පත ඇසුරින් – ප්‍රවීණ ජෝතීෂ්යවේදී අජිත් ධර්මාසිරි