බොහෝ අය පීඩා විදින නියපොතු දිලීර රෝගවලට ගෙදරදීම ප්‍රතිකාර කරමු.

0
1017

දෙපා ඇඟිලිවල නියපොතු ආශ්‍රිත දිලීර රෝගය (onychomycosis) යනු නියපොත්ත යට dermatophytes නම් දිලීරය වර්ධනය වීම නිසා හට ගන්නා ආසාදනයකි. එම දිලීරය නියපොත්ත රළු, ගණ, දුර්වර්ණ සහ විකෘති ස්වරූපයකට පත් කරයි. මෙම ආසාදන තත්ත්වය උත්සන්න වූ විට නියපොත්ත සහ ඇඟිලි මතුපිට එකිනෙකින් වෙන් වී හිඩැසක් නිර්මාණය වන අතර දැඩි වේදනාවක් සහ දැඩි දුර්ගන්ධයක් ඇති විය හැකිය.

මෙය බොහෝ විට කල් පවතින රෝග තත්ත්වයක් වන අතර සම ඔස්සේ සෙසු නියපොතුවලට ද පහසුවෙන් බෝ විය හැකිය. එසේම ආසාදිත නියපොතු සඳහා භාවිත කළ නිය කපන සහ නිය පිහිරි ඔස්සේ ද සෙසු නියපොතුවලට මෙම දිලීරය ආසාදනය විය හැකිය. මෙම දිලීර රෝගය බෝ වීමට සහ උග්‍රවීමට පිරිසිදුකම අඩුවීම, බොහෝ වේලාවක් සපත්තු මේස් පැළඳ සිටීම, දිලීර ආසාදිත පුද්ගලයකු සමග පාවහන් හුවමාරු කර ගැනීම, පාවහන් නොමැතිව ප්‍රසිද්ධ වැසිකිලි සහ නාන කාමරවලට යාම, නෑමට සහ සේදීමට පසු හොඳින් වියළෙන පරිදි දෙපා පිස නොදැමීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම මූලික හේතු වෙයි. දෙපා ඇඟිලිවල නියපොතු ආශ්‍රිත දිලීර රෝගය අසහනකාරී ආසාදනයක් වුව නිවසේ දී ම සරල සහ පහසු ප්‍රතිකාර ක්‍රම ඔස්සේ සුව කරගත හැකිය. මෙම ප්‍රතිකාර ක්‍රම දිලීරය පැතිරීම පාලනය කරමින් තව දුරටත් හානිවීම වළක්වනු ඇත.

1. Apple Cider විනාකිරි

ක්ෂුද්‍ර ජීවීන නිසා හට ගන්නා නියපොතු ආශ්‍රිත දිලීර රෝගය සඳහා Apple Cider විනාකිරි නිවසේ දී ම කළ හැකි හොඳම ප්‍රතිකාරයකි. එය මෙම ආසාදනයය හේතු වන දිලීර විනාශ කරන අතර එහි ඇති මෘදු අම්ල ස්වභාවය ආසාදනයේ ව්‍යාප්තිය පාලනය කරයි.Apple cider විනාකිරි සහ මද උණුසුම් ජලය සමාන ප්‍රමාණ ගෙන එකට මිශ්‍ර කරන්න. පැය භාගයක් පමණ දිලීර ආසාදිත නියපොතු සහිත පාද එහි ගිල්වා තබන්න. අනතුරුව එම ප්‍රදේශය හොඳින් වියළෙන ආකාරට පිසදමන්න. ඒ සඳහා හැකි නම් හිස කෙස් වියළනයක් භාවිත කරන්න. මෙම ප්‍රතිකාරය දිනකට වරක් සති කිහිපයක් කරන්න.අමතරව සහල් පිටි මේස හැන්දක් සහ apple cider විනාකිරි මේස හැඳි දෙකක් හොඳින් මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. එම තලපය ආසාදිත නියපොත්ත සහ ඒ අවට ආලේප කර සමේ මැරුණු සෛල ඉවත් වන ආකාරයට විනාඩි පහක් පමණ මෘදු ලෙස දත් බුරුසුවකින් මදින්න. අනතුරුව දෙපා සෝදා හොඳින් වියළෙන ආකාරයට මෘදු තුවායකින් පිසදමන්න. මෙම ප්‍රතිකාරය මාසයක් හෝ දෙකක් දිනපතා කරන්න.

2. බේකිං සෝඩා

බේකිං සෝඩා හෙවත් සෝඩියම් බයිකාබනේට් ක්ෂාරය භාවිතයෙන් නියපොතු ආශ්‍රිත දිලීර රෝගය සඳහා නිවසේ දී ම ප්‍රතිකාර කළ හැකිය. බේකිං සෝඩා දිලීර විනාශ නොකළ ද එමගින් දිලීර වර්ධනය සහ ව්‍යාප්තිය වැළැක්විය හැකිය. එසේම ඒවා සමේ pH මට්ටම ආරක්ෂා කර ගැනීමට ද උදව් වෙයි. බේකිං සෝඩා මේස හැඳි දෙකකට මද උණුසුම් ජලය මේස හැඳි එකක් අනුපාතයට එකතු කර ද්‍රාවණයක් සාදා ගන්න. පුළුන් බෝලයක් එම ද්‍රාවණයේ පොඟවා ආසාදිත නියපොත්තේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්න. මේ ප්‍රතිකාරය දිනකට දෙවරක් මාසයක් පමණ කරන්න.බේකිං සෝඩා මේස හැඳි 4ක්, විනාකිරි (white vinegar) කප් 1ක්, මද උණුසුම් ජලය කප් 2ක් හෝ 3ක් සමග මිශ්‍ර කර ද්‍රාවණයක් සාදා ගන්න. ඔබේ දෙපා විනාඩි 15ක් පමණ මෙම ද්‍රාවණයේ බහා තබා සොඳින් ජලය ඉවත් වන සේ පිසදමන්න. මේ ප්‍රතිකාරය දිනකට දෙවරක් අවම වශයෙන් මාසයක් කරන්න. ඔබේ සපත්තුව තුළට බේකිං සෝඩා ස්වල්පයක් ඉස රාත්‍රිය පුරා තිබෙන්නට හරින්න. අනතුරුව උදෑසන සපත්තුව පැළඳීමට පෙර ඒ තුළ රැඳුණු කුඩු සහ කැබලි ඉවත් කරන්න. එය ඔබේ ඇඟිලි දිලීර ආසාදනවලින් ආරක්ෂා කරනු ඇති අතර දුර්ගන්ධය උරා ගනු ඇත.

3. ටී ත්‍රී ඔයිල් (Tea Tree Oil)

ටී ත්‍රී ඔයිල් යනු ඔබේ නියපොතු ආසාදනය කරන දීලීර විනාශ කරන දිලීර නාශකයක් මෙන්ම විෂබීජ නාශකයකි.ආසාදිත නියපොතු rubbing alcohol භාවිතයෙන් පිරිසිදු කරන්න. අනතුරුව ටී ත්‍රී ඔයිල් බිංදු කිහිපයක් ඒ මත ආලේප කරන්න. මෙම ප්‍රතිකාරය දිනකට වරක් මාසයක් පමණ කරන්න.අමතරව මද උණුසුම් ජල බඳුනකට ටී ත්‍රී ඔයිල් බිංදු 4-5ක් දමා විනාඩි 15ක් පමණ ඔබේ දෙපා එහි ගිල්වා තබා හොඳින් ජලය ඉවත් වන සේ පිස දමන්න. මෙම ප්‍රතිකාරය දිනකට දෙවරක් මාසයක් පමණ කරන්න. විටමින් E කරලක් කඩා එය ටී ත්‍රී ඔයිල් ස්වල්පයක් සමග මිශ්‍ර කර ආසාදිත නියපොතු මත ආලේප කරන්න. එය පැය භාගයක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හැර හොඳින් තෙතමනය ඉවත් වන සේ පිසදමන්න. මෙම ප්‍රතිකාරය දිනකට දෙවරක් මාසයක් පමණ කරන්න.

4.Oregano Oil

Oregano oil යනු නියපොතු ආසාදන සුව කිරීමට උපකාරී වන විෂබීජ නාශකයක් මෙන් ම දිලීර නාශක ගුණ අඩංගු ඖෂධයකි. Oregano oil බිංදු 4-5කට ඔලිව් තෙල් (extra-virgin olive oil) මේස හැඳි දෙකක් මිශ්‍ර කරන්න. එම ද්‍රාවණය පුළුං බෝලයක පොඟවා ආසාදිත නියපොත්ත මත ආලේප කර විනාඩි 10ක් පමණ තබන්න. නියපොත්තේ මතුපිට දත් බුරුසුවක් ආධාරයෙන් මෘදු ලෙස මදින්න. අනතුරුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය අවම වශයෙන් දිනපතා සති 3ක් කරන්න.

5. සුදු ලූනු

සුදු ලූනුවල දිලීරවලට එරෙහිව විශේෂයෙන් ඇඟිලි ආශ්‍රිත දිලීර රෝගවලට එරෙහිව ක්‍රියාත්මක වන ajoene නම් දිලීර නාශකය තිබේ. සුදු ලූනු බික් 7-8ක් හොඳින් අඹරා මද උණුසුම් ජලයට එක් කොට දෙපා එහි පැය භාගයක් ගිල්වා තබන්න. අනතුරුව තෙතමනය හොඳින් ඉවත් වන සේ දෙපා පිසදමා ආසාදිත නියපොතු මත වැස්ලින් වැනි petroleum jelly වර්ගයක් ආලේප කරන්න. දිලීර රෝගය සම්පූර්ණයෙන් සුව වන තුරු මෙම ප්‍රතිකාරය දිනකට වරක් කරන්න.අමතරව, නැවුම් සුදු ලූනු බික් දෙකක් හෝ තුනක් ඔලිව් ඔයිල් සමග හොඳින් අඹරා ගන්න. මිශ්‍රණය පුළුං කැබැල්ලක තවරා ආසාදිත ප්‍රදේශයේ ආලේප කරන්න. එම මිශ්‍රණය බිමට වැටීම වැළැක්වීම සඳහා සාමාන්‍ය තුවාල වෙළුම් පටියකින් බැඳ තබන්න. පැය කිහිපයකට පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් කරන්න. දිනකට නැවුම් සුදු ලූනු බික් එකක් හෝ දෙකක් කෑමට එකතු කරගන්න. දිලීරවලට තව දුරටත් සිරුරේ පැවතීමට සහ ව්‍යාප්ත වීමට එය බාධා කරනු ඇත.

6. Listerine

Listerine යනු විෂබීජ නාශක මුඛ සෝදනයකි. එහි නියපොතුවල දිලීර විනාශ කළ හැකි ගුණයක් තිබේ. විශේෂයෙන් එහි අඩංගු thymol නම් සංඝටකය දිලීර විනාශ කිරීමට උපකාර වෙයි. Listerine සහ apple cider විනාකිරි සම ප්‍රමාණ ගෙන මිශ්‍ර කරන්න. එම ද්‍රාවණයේ හොඳින් පොඟවා ගත් පුළුං කැබැල්ලක් ආසාදිත නියොපතු මත තබන්න.පුළුං කැබැල්ල එහා මෙහා යාම වැළැක්වීම සඳහා පිරිසිදු රෙදි පටියකින් හෝ වෙළුම් පටියකින් වෙළා තබා විනාඩි 45ක් පමණ තිබෙන්නට හරින්න. අනතුරුව මෘදු දත් බුරුසුවකින් නියපොත්ත මදින්න. දිලීර ආසාදනය සම්පූර්ණයෙන් සුව වීම සඳහා මෙම ප්‍රතිකාරය දිනපතා මාසයක් පමණ කරන්න.

7. කහ

කහ යනු නියපොතු දිලීර රෝගය සුව කළ හැකි එම රෝගය නැවත නැවත මතු වීම වැළැක්විය හැකි ප්‍රබල විෂබීජ නාශකයකි. වියළි කහ අලයක් සිහින් කුඩු බවට පත් වන ආකාරයට අඹරා ගන්න. මේස හැන්දක් පමණ කහ කුඩු වතුර ස්වල්පයක් සමග මිශ්‍ර කර ගණ තලපයක් සාදා ගන්න. එම තලපය ආසාදිත නියපොත්ත මත තබා පැය 2-3ක් තිබෙන්නට හරින්න. අනතුරුව මද උණුසුම් ජලයෙන් එය සෝදා හැර හොඳින් තෙතමනය ඉවත් වන ආකාරයට පිසදමන්න. මෙම ප්‍රතිකාරය දිනකට දෙවරක් දිලීර ආසාදනය සුව වන තුරු කරන්න.

8. ඉන්දියන් ලිලැක් (Indian Lilac)

ඉන්දියානු ලිලැක් හෙවත් නීම් නියොපතු දිලීර ආසාදන ඇතුළු විවිධ දිලීර ආසාදන සඳහා භාවිත කළ හැකි ඖෂධයකි. එහි නියපොතු ආශ්‍රිත දිලීර රෝග සුව කළ හැකි සහ එම රෝග පැතිරීම වැළැක්විය හැකි ඖෂධීය ගුණාංග තිබේ. නීම් කොළ අහුරක් ගෙන ජලය ස්වල්පයක් සමග මිශ්‍ර කර හොඳින් අඹරා ගන්න. ඊට කහ තේ හැන්දක් එකතු කර මිශ්‍ර කරන්න. එම තලපය ආසාදිත නියපොත්ත මත ආලේප කර පැයක් පමණ තිබෙන්නට හරින්න. අනතුරුව මද උණුසුම් ජලයෙන් සෝදා තෙතමනය ඉවත්වන පරිදි හොඳින් පිසදමන්න. මෙම ප්‍රතිකාරය දිනකට දෙවරක් දිලීර ආසාදනය සුව වන තුරු කරන්න.අමතරව, ඔබට නීම් තෙල් (neem oil) භාවිත කළ හැකිය. පුළුං කැබැල්ලක් නීම් තෙල්වල පොඟවා ආසාදිත නියොපත්ත ඒ අවට ආලේප කරන්න. හොඳ ප්‍රතඵල ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිකාරය දිනපතා දෙවර බැගින් අවම වශයෙන් මාසයක් කරන්න.

9. රතු ලූනු

මෙවැනි ආසාදන සඳහා හේතු වන දිලීර හොඳින් විනාශ කළ හැකි දිලීර නාශක ගුණයක් රතු ලූනුවල තිබේ. රතු ලූනු ගෙඩියක් පෙතිවලට කපා ඒවායින් ආසාදිත නියපොත්ත විනාඩි පහක් පමණ සෙමෙන් පිරිමදින්න. ලූනු සාරය විනාඩි 20ක් පමණ නියපොත්ත මත තිබෙන්නට හරින්න. අනතුරුව මද උණුසුම් ජලයෙන් සෝදා හොඳින් තෙතමනය ඉවත් වන ආකාරයට පිසදමන්න. ඉක්මන් ප්‍රතිඵල සඳහා මෙම ප්‍රතිකාරය දිනකට දෙවරක් කරන්න.අමතරව, රතු ලූනු ගෙඩි කිහිපයක් අඹරා එහි සාරය ගන්න. පුළුං බෝලයකින් එම සාරය ආසාදිත නියපොත්තේ ආලේප කර පිරිසිදු රෙදි පටියකින් හෝ වෙළුම් පටියකින් වෙළා තබන්න. පැයකට පසු මද උණු ජලයෙන් එය සෝදා හැර හොඳින් තෙතමනය ඉවත් වන ආකාරයට පිසදමන්න. මෙම සරල ප්‍රතිකාරය දිනකට දෙවර බැගින් මාස දෙකක් කිරීමෙන් එම දිලීර ආසාදනය නැවත ඇති නොවන ආකාරයට සුව කරගත හැකිය.

10. පොල්තෙල්

පොල් තෙල්වල අඩංගු අම්ල සාරයෙහි ස්වාභාවික දිලීර නාශක ගුණාංග අඩංගුය. ඒ සඳහා නියපොතු ආසාදනවලට හේතු වන හොඳින් විනාශ කළ හැකිය. පිරිසිදු පොල් තෙල් (extra-virgin coconut oil) ස්වල්පයක් ගෙන ආසාදිත නියපොත්ත මත මෘදු ලෙස ආලේප කරන්න. එය ස්වාභාවික ලෙස නියපොත්තට උරාගැනීමට සහ වියළෙන්නට හරින්න. ආසාදනය සුව වන තුරු දිනකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය කරන්න.පොල්තෙල් බිංදු පහකට oregano oil බිංදුවක් අනුපාතයට මිශ්‍රණයක් තනා ගන්න. ආසාදිත නියපොත්තේ එම මිශ්‍රණය හොඳින් ආලේප කර විනාඩි 10ක් තිබෙන්නට හරින්න. අනතුරුව මද උණුසුම් ජලයෙන් සෝදා හොඳින් තෙතමනය ඉවත් වන සේ පිසදමන්න. මෙම ප්‍රතිකාරය අවම වශයෙන් දිනකට දෙවර බැගින් සති හතරක් කරන්න. මෙම ප්‍රතිකාර ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නොකඩවා කළ යුතු බව මතක තබා ගන්න. එමෙන්ම සතිපතා නියපොතු කොටට කපා පවත්වගෙන යාමට අමතක නොකරන්න.

(top10homeremedies.com වෙබ් අඩවියේ Home Remedies for Toenail Fungus නම් ලිපිය ඇසුරිනි.උපුටාගැනීම doctor.lk වෙබ් අඩවියෙනි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here