කොවිඩ් 19 ඕනෑම මොහොතක හිස එසවිය හැකියි.

0
154

අලුත්ම ප්‍රවණතාවයක් හැටියට කන්දකාඩු පුරුත්තාපන මධ්‍යස්ථානය තුළින් කොවිඩ් – 19 රෝගීන් මතුවීම සුබදායක කාරණයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. කොවිඩ් සහමුලින්ම අප හැර ගොස් නැති බවට මේ සිද්ධිය හොඳ නිදසුනක් බවත් කොවිඩ් 19 සම්බන්ධයෙන් පැවැති සූක්ෂම අරපරෙස්සම දැන් ඇල්මැරී යාම නිසා අලුත් රෝගී පොකුරු බිහිවන්නට සහ අනතුරැදායක මට්ටමේ පැතිරයාමකට අවශ්‍ය වටපිටාවක් සකසන්නට හැකි බවටත් ඔවුන් අනතුරු අඟවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ දේශයට කීවේ කන්දකාඩු පුනරැත්ථාපනයෙන් කොවිඩ් නැවත පැතිරයාමක් ඇරුඹී නැතත් එය අපට අලුත් තදබල අනතුරැ ඇඟවීමක් ලබා දී ඇති බවය.

එය එක් අතකින් කොවිඩ් 19 සමාජය තුළ සැඟව ඇති බව අඟවන අතර, අපේ පූර්ව ආරක්ෂක සෞඛ්‍ය චර්යාවන්ගේ වටිනාකම නැවත අවධාරණය කර දෙයි. අනෙක් අතට එයින් කියන්නේ දැනටමත් සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය මදි බවයි.

කන්දකාඩුවේ රෝගය පාලිත තත්ත්වයක පවතින හෙයින් එයින් පිටතට කාන්දු වීමක් ගැන බිය විය යුතු නැත. එහි කාර්යමණ්ඩලය වෙතින් එබඳු පැතිරයාමක් සිදුවීමට ඇති අවස්ථා වළක්වාගන්නට අවශ්‍ය පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ උපායමාර්ග යොදාගත යුතුව ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ කියයි. මෙලෙස සමාජය තුළ කොවිඩ් නැවත හිස එසවීමට මෙන්ම පැතිර යාම වැළැක්වීමට ගතයුතු මූලික සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග ගැන අවධානය ලිහිල් නොකර පවත්වාගත යුතු බව ඔහු අවධාරණය කර සිටී. පාසල් විවෘත කිරීමත්, පොදු ප්‍රවාහනය සක්‍රීය වීමත් සමඟ කොවිඩ් අවදානම ඉහළ යන ප්‍රවණතාව වැඩිය. අපට ඇති පහසුකම් හමුවේ මූලික නිවාරණ ක්‍රම ලෙස කොවිඩ් 19 වසංගතය ආරම්භයේදී හඳුන්වා දුන් මීටරයක දුර, අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම යන කාරණා අතරින් දැන් මීටරයක දුර පවත්වාගැනීම ප්‍රායෝගිකව අපහසු කාර්යක් වී ඇති බව හැබෑය. එහෙත්, ඒ වෙනුවට අත් සෝදා පිරිසිදු කිරීම සහ මුඛ ආවරණ පැළඳීම යන මූලික සිරිත් 2 නොකඩවා පවත්වාගත යුතු සිරිත් දෙකකි.

නිතර නිතර මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සැක සහිත ස්ථාන, තරප්පු වැට ආදිය අනවශ්‍ය ලෙස ස්පර්ශයෙන් වැළකීම, හැකි සෑම අවස්ථාවකදීම පිරිස බහුලව ගැවසෙන ස්ථාන මගහැරීම සිදු කළ යුතුම කාරණා බව කන්දකාඩුවේ ප්‍රතිඵලය අපට අනතුරැ අඟවන බව වෛද්‍ය හරිත අලුත්ගේ කීය.

ලංකාව තුළ කොවිඩ් 19 සමාජය තුළින් පැතිර යාම වළක්වා ගන්නට සෞඛ්‍ය සහ ආරක්ෂණ අංශ මෙහෙයුම සමත්ව ඇත. මේ නිසා ලංකාවට කොවිඩ් 19 කඩාවැටිය යුත්තේ පිටතිනි. විශේෂයෙන්ම දැන් වසංගතයට ගොදුරැ වූ රටවල් අතරින් ලෝකයේ දෙවැනි තැනට පත්ව සිටින අසල්වැසි ඉන්දියාවෙනි. එරට දෛනික වාර්තාව 95000ත්, මරණ 10000ත් ඉක්මවා ගොසිනි. ඔවුන්ට පාලනය කළ නොහැකි මට්ටමකට දැන් එය පත්ව තිබේ.පෙරළෙන නැවෙන් මීයෝද පැන යති කීවාක් මෙන් ඉන්දියාවෙන් මෙරටට පැන එන්නට අවස්ථාව සලසා ගන්නට මාන බලන පිරිස් දැන් ඉහළය.ගුවන් තොටුපොළ ආරක්ෂණ කටයුතු යහපත් මට්ටමක ඇති නිසා නීතිගරුක ලෙස පරික්ෂාවන්ට ලක්ව පැමිණිය හැකි පිරිස මෙහිදී අඩුය.මේ අය එනවා නම් එන්නේ හොර පාරෙනි.එහෙයින් මේ අනවසර මාර්ගවලින් රටට ඇතුළු වන පිරිස මැඩපැවැත්වීම සඳහා තදබල ක්‍රියාන්විතයක් අවශ්‍යව තිබේ.

රට තුළ ජනතාව අතර මේ වනවිට කොවිඩ් 19ට ඇති බිය පහව ගිය බවක් පෙනී යයි.යකා කියන තරම්ම කළු නෑ කියන අන්දමේ අදහසකින් ජනතාව ක්‍රියා කරයි. පොදු ස්ථානවලදී කාර්යාල තුළ ප්‍රවාහන මාධ්‍යවලදී පවා මූලික සෞඛ්‍ය ආරක්ෂණ සිරිත් පිළිපැදීම දැන් නැතිව ගොසිනි. මේ නිසා කිසියම් කාන්දුවක් සිදුවුවහොත් එය ඉතා පුළුල්ව පැතිර යා හැකිය. එය පාලනයට නතු කරගන්නට නොහැකි තරම් ඉක්මනට සිදුවන පොකුරැ පැතිරයාමක් වීමේ අනතුරැදායක තත්ත්වය දැන් මේ නොසැලකිලිමත් බව නිසාම ඉහළය. මේ නිසා මූලික අරපරෙස්සම සෞඛ්‍ය ආරක්ෂාව ගැන නැවතත් තදින්ම සිතට ගතයුතුය.

වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ කන්දකාඩුව මගින් රතු එළිය දල්වා පෙන්වා දෙන තවත් ප්‍රධාන කාරණයක් වන්නේ රටේ සිදුවන PCR පරීක්ෂණ ප්‍රමාණය තවමත් ප්‍රමාණවත් නොවන බවයි. මේ වනවිට දිනකට PCR පරීක්ෂණ 3000 ත් 3500ත් අතර ප්‍රමාණයක් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සහ හැකියාව ඇති බව කීවත් රටේ බොහෝවිට සිදුවන්නේ PCR 1000ක් 2000ක් අතර ප්‍රමාණයකි. හැකියාව තිබියදීත් PCR නොකර සිටීම සැලකිය යුත්තේ කොවිඩ් 19ට සැඟවී සිටීමට කරන උපකාරයක් ලෙසය.

මෙලෙස සැඟවී සිට හදිසියේම පිටතට පැන පහර දී සමාජ සංස්ථාව උඩයටිකුරු කර දමන්නට තරම් කොවිඩ් 19 වසංගතය බලවත්ය. අමෙරිකාව, ඉන්දියාව නිදසුන් ලෙස සැලකුවොත් ඔවුන්ද මුල් අවදියේ සිදුකළ PCR ප්‍රමාණය ජනගහනයට අනුව නොගිනිය හැකි තරම් අල්ප වූ නිසා සැඟව සිටි කොවිඩ් 19 එම රටවලට පාලනය කළ නොහැකි පරාසයකට පත්ව හමාරය. අපේ රටටද මේ අනතුරුදායක ආනිසංසය ලබා නොදෙන්නට නම් නොපමාවම රටේ අහඹු නියැදි තෝරා ගනිමින් සිදුකරන PCR පරීක්ෂණ උපරිම ධාරිතාවයෙන් යුතුව සිදුකළ යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ කියයි. ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවා මෑතකදී අනතුරු අඟවා සිටියේ කොවිඩ් 19 මෑතකදී අහවර නොවන බවයි. එය මනාව පාලනය කරන ලද රෝගයක් බවට පත්වන්නට හෝ එයට එරෙහි සාර්ථක එන්නතක් සොයාගන්නට තවත් වසර දෙකක්වත් අඩුම තරමේ ගතවන බවයි. මේ නිසා කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම පහව ගිය පමණින්ම සියල්ල අවසන්ය කියා සියලු ආරක්ෂණ ක්‍රමවේද අතහැර දැමීමට තරම් නොසැලකිලිමත් නොවිය යුතු බව ඔහු අවධාරණය කර සිටියි.

 සුගත් DESHAYA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here