දිගන අවට භූ කම්පන සුළුවෙන් තැකීමට බැහැ – භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්

0
170

මහනුවර දිගන ඇතුළු අවට ප‍්‍රදේශවල අවස්ථා කිහිපයකදී ඇති වූ භූ චලන සිද්ධි මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා සිදු වූ දේ නොවන නිසා සුළුවෙන් තැකිය නොහැකි යැයි භූ විද්‍යාා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවැසීය.

මහනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයක අවස්ථා කිහිපයක ඇති වූ භූ කම්පන එතරම් සැලකිල්ලට ගත නොහැකි ලෙස සුළු වශයෙන් වාර්තා වුවත් පසුගිය 02 වැනිදා සිදු වූ භූ කම්පන තත්ත්වය මහනුවර පල්ලෙකැලේ භූ කම්පන මානයේ පැහැදිලිව සටහන් වී ඇති අතර මහකනදරා ඔය හා හක්මන ස්ථාපිත කර ඇති භූ කම්පන මාපකයන්හි ද එය සුළුවෙන් සටහන් වී ඇතැයි ඒ මහතා අවධාරණය කර සිටියේය.

මේ භූ කම්පන තත්ත්වයන් හුණුගල් සංසිද්ධියක් මුල්කරගෙන සිදු වූවාද, වික්ටෝරියා වේල්ල හේතුකර ගෙන සිදු වූවාද යන්න මෙතෙක් ප‍්‍රකාශ කළ නොහැකි බව ඒ මහතා කීය. එම නිසා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවත් වික්ටෝරියා වේල්ලට යම් හානියක් සිදුවුවහොත් වන විනාශය සිතා ගැනීමටත් නොහැකි බවත් ඔහු කීය.

භූ කම්පන සිද්ධියක් සිදු වූ ස්ථානවලට ගොස් පරීක්‍ෂණ සිදුකළ පමණින් එම ප‍්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් ඇති වූ බවට ප‍්‍රකාශ කළ නොහැකි බවත්, පවතින භූකම්පන මාන උපයෝගී කරගෙන මත ප‍්‍රකාශ කිරීම සිදුකරන බවත් ඒ මහතා පැවසීය. මුහුද මැද භූ කම්පනයක් සිදු වුවහොත් එම ස්ථානයට නොයන බවත්, භූ කම්පනමාන උපයෝගී කරගෙන අදහස් ප‍්‍රකාශ කරන බවත් එම අදහස් දැක්වීම ද එකවර මෙපමණ භූ චලනයක් සිදු වී ඇති බවට ප‍්‍රකාශ කළ නොහැකි බවත් ඒ මහතා කීය. භූ කම්පන නිරීක්‍ෂණය කිරීම සඳහා අප රටේ පවතින උපකරණ වෙනුවට නවීන තාක්‍ෂණික උපකරණ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවත් ඒ මහතා කීය.

චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here