වනාතවිල්ලුවේ අක්කර සිය ගාණක් විනාශ වෙලා නෑ.. විනාශ වී ඇත්තේ අක්කර 29යි.

0
562

වනාතවිල්ලුව කුරටියාමොහොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමේ අරමුණින් සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා එහි තිබූ වනය කපා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය නිරික්ෂණයට එක්වූ වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා එය නැවත තීබු ලෙස හරිත වනාන්තරයක් කිරීමට උපදෙස් දුන් බව (14) පැවසීය. මාසයක් තුළ එම කටයුතු ආරම්භ කළ යුතු බවට අමාත්‍යවරයා අදාල බලධාරින්ට උපදෙස් දී තිබුණි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොහොට්ට ප්‍රදේශයේ වනය වනසමින් ගිනිතබා විනාශ කළ භූමිය බැලීමට එක්වූ අවස්ථාවේදීය.

ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී තමන් වන විනාශයට දැඩිව ක්‍රියාත්මක වී දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනිස් ජීවිතයක් වැනසීමට කටයුතු කලා සේ සලකා නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා සමග වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු.ඒ.සි.වේරගොඩ, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සුරියබණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, පුත්තලම පොලිස් අධිකාරි ජයමහ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, සිමෙන්ති සංස්ථා සභාපති ගාමිණි ඒකනායක, සිමෙන්ති සමාගමෙන් මේ වන විට මෙම භූමිය ලබා ගෙන ඇති ඉන්සි සිමෙන්ති සමාගමේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වන විනාශය සිදුව තිබු ස්ථානයට පැමිණි ඇමතිවරයා පවසා සිටියේ එම ස්ථානය වන ජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොවන බවත්, එය සිමෙන්ති සංස්ථාවට රජය ලබා දුන් අක්කර 5200 කට ආසන්න භුමියේ කොටසක් බවත්ය. එම භූමිය පිළිබඳව සිමෙන්ති සංස්ථාව සොයාබලා නැති බවත්, ඒ හේතුවෙන් මෙසේ විනාශ වී ඇති බවත් කී ඇමැතිවරයා කීය.

මෙම විනාශය සුලු සිදුවීමක් බවට ඉහළ පොලිස් නිලධාරීන් විසින් ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබූවද, සුලු වුවත් විශාල වුවත් එය බරපතල කරුණක් බව ඇමැතිවරයා සඳහන් කළේය.

එම ස්ථානයේ අක්කර 100ක්, 200ක් විනාශ වී ඇතැයි වාර්තා වී තිබුණද, විනාශ වී ඇත්තේ අක්කර 29ක් බවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේය. එම භූමිය ආරක්ෂා කිරීමටත්, එය හරිත වනයක් ලෙස සකස් කිරීම මාසයක් ඇතුළත ආරම්භ කළ යුතු බවත්, අමාත්‍යවරයා සිමෙන්ති සංස්ථාවට උපදෙස් දුන්නේය.

– කේ.ප්‍රියංකර කළුපහන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here