කරුවලගස්වැව – ගල්විල පාරිසරික උද්‍යානය තුළ සිදුවී ඇති දැවැන්ත පාරිසරික විනාශයක්.

0
247

කරුවලගස්වැව – ගල්විල පාරිසරික උද්‍යානය තුළ සිදුවී ඇති දැවැන්ත පාරිසරික විනාශයක් සම්බන්ධයෙන් වගකිව යුතු අංශවල අවධානය වහා යොමු විය යුතුව ඇතැයි කරුවලගස්වැව, ලුම්බිණි විහාරාධිපති පූජ්‍ය මානෑවේ පඤ්ඤාරාම හිමියෝ සඳහන් කරති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානය හෙක්ටයාර් 21 ක පමණ විශාලත්වයකින් යුක්තය.තබ්බෝව අභය භූමිය සහ නවගත්තේගම ප්‍රදේශයේ ඇති රක්ෂිත වනාන්තර මෙම පාරිසරික උද්‍යානයට අයත්ය.

2017 වර්ෂයේදී විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද ගල්විල පාරිසරික උද්‍යානය පසුගිය ජූලි මස 17 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විවෘත කරන ලදී.

පුරා විද්‍යා වටිනාකමක් ඇති ගල් ලෙන් මෙන්ම පැරණි ගස් වර්ග රැසක්ද මෙම උද්‍යානය තුළ දැක ගැනීමට හැකියාව ඇත. එමෙන්ම විවිධ වන සතුන් මෙම උද්‍යානය තුළ සැරිසරන බව පරිසරවේදීන් මෙන්ම සත්ත්ව ගවේෂකයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ඊට අමතරව වසර ගණනක් පැරණි පළු,වීර,කළූවරල වැනි දුර්ලභ ශාක වර්ග රැසක්ද දැක ගැනීමට ඇත.

මෙම වනාන්තරය තුළ ජීවත් වන අලින් ඇතුළු සතුන්ට අවශ්‍ය ජලය රැස් කිරීමට යැයි පවසා වැලි සහ පස් ජාවාරමක්ද වනෝද්‍යානය තුළ සිදු වන බවක් දක්නට ලැබේ. ගොවි සංවිධානවල අවසරය ඇතිව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලබා දී ඇති අවසර පත්‍ර අනුව සිදු කරනු ලබන්නේ දැවැන්ත ජාවාරමක් මිස සංවර්ධනයක් නම් නොවන බව පෙනී යයි. වන සතුන්ට අවශ්‍ය ජලය රැස් කිරීම සඳහා වැව් සකස් කරනවා වෙනුවට ඔවුන් උද්‍යානය තුළ තැන තැන වළවල් හාරමින් සොයා ඇත්තේ වැලි සහ පස් බව අප විසින් කරන ලද නිරීක්ෂණයේදී අනාවරණය විය.

එමෙන්ම වන උද්‍යානය තුළ දැවැන්ත වන සංහාරයක්ද සිදුවී ඇති බවක් දක්නට ඇත. සංචාරකයින්ට ගමන් කිරීමට යැයි පවසමින් මාර්ගයක් ඉදිකරන මුවාවෙන් එම දැව සංහාරය සිදු කර ඇත. සත්‍ය ලෙසම වන උද්‍යානයක් තුළ අධිවේගී මාර්ග තරම් විශාල මාර්ග පහසුකම් අවශ්‍ය නොවන නමුත් එවැනි තත්ත්වයක් මෙහිදී දැක ගත හැකි විය.

මාර්ගය ඉදිකිරීම වෙනුවට කිසියම් පිරිසක් විසින් සිදු කර ඇත්තේ වසර ගණනාවක් පැරණි දැවැන්ත ගස් කපාගෙන රැගෙන යාම බවට අනුමාන කළ හැකිය.

ගල්විල පාරිසරික වන උද්‍යානය ඉදිකිරීමේ ග්‍රාමීය කමිටුවේ හිටපු උපදේශකවරයෙකු මෙන්ම 17 කණුව ලුම්බිණි විහාරයේ විහාරාධිපති පූජ්‍ය මානෑවේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ මෙසේද පැවසීය.

“ගල්විල පාරිසරික උද්‍යානය හදන්න පටන් ගන්න කොට මමත් එහි උපදේශකයෙකු ලෙස කටයුතු කළා. මෙම උද්‍යානයේ කටයුතු සිදු කරන විට ඇතැම් දේවල්වලට එරෙහිව මම කතා කළා. එහි ප්‍රතිඵලය වුණේ මාව එම තනතුරෙන් ඉවත් කරපු එකයි. ඊට පස්සේ තමයි මේ මහා විනාශය කරන්න පටන් අරගෙන තියෙන්නේ.පුත්තලම දිස්ත්‍රික්කයේ තැන් තැන්වල සිද්ධ වෙන පරිසර හානි ගැන පසුගිය දින කීපය තුළ කතා කළා. මේත් එක පරිසර හානියක් තමයි. හැබැයි මේ සම්බන්ධයෙන් කිසිදු රජයේ නිලධාරියකු කතා කරන්නේ නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නේ සිදු වී ඇති විනාශය රජයේ නිලධාරීන්ගේ අනුග්‍රහය මත වී තිබීම නිසයි. කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීලා පැත්තකට වෙලා ඉන්න නිලධාරීන්ට බැහැ. ඒ අය අධීක්ෂණ කටයුත්ත සිදු කළ යුතුමයි. එසේ නොකිරීමේ ප්‍රතිඵලය අද ගල්විල පාරිසරික උද්‍යානයෙන් දැක ගත හැකියි.

මෙම උද්‍යානය පවත්වා ගෙන යන්න විදෙස් රටවල්වලින්ද සහාය ලැබෙන බව දැන ගැනීමට තිබෙනවා. සිදු වී ඇති හානිය ඇත්තටම ඒ අය දැක්කොත් කිසිම සහායක් අපිට ලැබෙන එකක් නැහැ. ඒ නිසා මම කියන්නේ ජනාධිපතිවරයා මෙන්ම පරිසර ඇමැතිවරයාත් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න වෙනවා. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ පාරිසරික උද්‍යානයක් නිසා තිබුණු වනාන්තරයත් නැතිවෙලා යන එකයි.″ උන් වහන්සේ කියා සිටියේය.

සත්‍යයකි. සිදුවී ඇති බොහෝ දෑ මේ වන විට සිදුවී අවසන්ය. ඉතිරි වී ඇති කොටසවත් රැකගැනීම කළ යුතුව ඇත.ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක නොවූහොත් සිදුවන්නේ මහා විනාශයකි.

•ජූඩ් සමන්ත – පුත්තලම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here