ජනපති කඩාපැන්න අධිකාරියට ගියත් වෙනසක් නැත,වැඩක් කරගන්න ආවම හරවලා යවනවා.

0
300

මේ දිනවල නිතර පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ නාරාහේන්පිට නිවාස සංවර්ධන අධිකාරියයි. පසුගිය දිනක මෙම අධිකාරිය ජනාධිපතිවරයාගේ හදිසි සෝදිසි මෙහෙයුමකට ලක්වීම නිසා මේ පිළිබඳව කතාබහ තව තවත් කරළියේ උණුසුම් වන්නට විය.

මාගේ රාජකාරි කටයුත්තක් සඳහා මා නාරාහේන්පිට පිහිටි මේ කුප්‍රකට නිවාස සංවර්ධන අධිකාරිය වෙත පිය නගන්නේ 2020.09.25 දිනය. ඒ වනවිට වේලාව 8.00 වී තිබිණි. එසේ වුවද එහි ආරක්ෂක අංශ නිලධාරියාද සමගින් තවත් පුද්ගලයන් දෙදෙනකු හැර කිසිදු නිලධාරියකු හෝ නිලධාරිනියක් දක්නට නොවීය. මාගේ අවශ්‍යතාව කුමක්දැයි විමසූ ආරක්ෂක අංශ නිලධාරියා පැවසුවේ රාජකාරි සඳහා නිලධාරීන් පැමිණෙන තුරු මඳක් රැඳී සිටින ලෙසයි. ඔහුගේ බසට එකඟ වූ මම විවේකාගාරයේ අසුන් ගත්තෙමි. ඉන් මොහොතකින් එහි පැමිණි නිලධාරීන් දෙදෙනෙක් ආරක්ෂක අංශ නිලධාරියාගේ මේසය අසල අදහස් හුවමාරු කර ගන්නට වූහ. ඔවුන් මේසය මත වූ පුවත්පත්වල අධිකාරිය සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති බලමින් ඒවා සමච්චලයට ගන්නා ස්වරූපයක් දක්නට විය.

‘‘හැම පත්තරේකම උඩින්ම කියලා තියෙන්නේ අපි ගැන. කොහොමද ඒක, මාරුවීම් ගත්ත මිනිස්සු තවත් මොකටද වැඩ කරන්නෙ.’’

‘‘කියල වැඩක් නෑ, අරුණ පත්තරේ කතුවැකියත් අපි ගැන. (සිනහ) කොහොමත් ට්‍රාන්සර් එකක් ඕන වෙලා තිබුණෙ. ජනාධිපති ඇවිල්ලා පත්තරේට දාලාම දීලා ගියා. කරගන්න බැරුව තිබ්බ වැඩක් කෙරුණා.’’

‘‘අර ගෑනි’’ කරපු වැඩෙන් අපි ගොඩ ගියා’’ එම කතා අසා සිටි මා හට ඇසුණේ මාරුවීම් දුන්නට පසු ඔවුන්ට රාජකාරි කිරීමට අවශ්‍යතාවක් නොමැති බවකි. එය එසේ වෙද්දී එතනට පැමිණියේ නාරාහේන්පිට ප්‍රදේශයේම අවට පදිංචි කාන්තාවකි. ඇය මා සමග ඉතා ළෙන්ගතු කතාවක නිරත වූවාය.

‘‘මිස් ගොඩක් වෙලාද ඇවිත්?’’ඇය මාගෙන් ​විමසූ විට මමද ඇයට පිළිතුරු බැන්​ෙදමි.

‘‘මම නම් අටට ආවේ’’ආපෝ මුන් අපේ දවස කනව මිස්’’

‘‘ඇයි ඒ?’’ (මා සිනහවෙමින්)මාස ගාණක් බඩගානවා මිස්. මුන්ට හෙණ ගහනවා දුප්පත් අපි මෙහෙම රස්තිදු කරනවට.’’

‘‘මොකටද ඔයා ආවේ?අනේ මිස් ගේ හදාගන්න ලක්ෂ 03ක ලෝන් එකක් ගන්න ආවේ. හැමදාම ඇවිත් හැරිල යනවා’’

සුළු මොහොතකින් ඇය එහි ඉහළ මාලය වෙත ගමන් කර නැවතත් මා සිටින ස්ථානය වෙත පැමිණි අතර, සිදුවූ දෙය මා සමගින් පවසන්නට වූවාය.

ඇය කියූ දෙයින් මම විමතියට පත් වුණෙමි.බලන්න මිස් 07 වැනි මාසෙ භාර දීපු ෆෝම් එක මෙතන ඉඳල තාම උඩට ලැබිල නෑ කියා ඒ සර් කියනවනේ. දැන් මාස 02ක් මිස්.’’

එයින් නොනැවතුණු ඇය මෙසේද බැණ වදින්නට වූවාය.පහළ ඉඳල උඩ තට්ටුවට ෆෝම් එකක් යවන්න උන්ට මාස 02ක් යනවා නම් මේ වැඩේ කරල දෙන්න තව කොච්චර කලක් යයිද?’’

‘‘මිස් දන්නෑ මිස් වැඩ කරගන්න එන මිනිස්සුන්ට බොරු කියලා හරවලා යවනවා එයා නෑ, මෙයා නෑ. කියලා.’’

වෙලාව උදෑසන 9 පසුවී විනාඩි 30ක් ගත වෙමින් තිබුණි. ඒ මොහොත වන විටත් රාජකාරියට වාර්තා කර තිබුණේ නිලධාරීන් තුන් හතර දෙනකු පමණි. ඔවුන්ද ඇතුළට පිවිසෙන තැන සිට ආගිය විස්තර කතා කරමින් සිටියා මිස රාජකාරියක් ආරම්භ කරන්නට වුවමනාව ඇති බවක් නම් දක්නට නොවීය. උදෑසන 8.00ට එහි ගිය මාගෙන් අවශ්‍යතාව විමසා බලන්නට තරම් කිසිවකුත් උත්සුක වූ​යේද නැත. තවද සුළු වේලාවක් මාත් සමගින් කතා බහ කළ කාන්තාව එහි නිලධාරිනියක අමතන්නට වූවාය.

‘‘මිස් මම ෆෝම් එක භාර දුන්නෙ 07 වැනි මාසෙ. තාම ඒක උඩට ගෙනල්ලා නැති නිසා ගෙවල් බලන්න එන්න බෑ කියලා ඒ සර් කියනවා. දැන් මාස 02ක් මිස්.’’

‘‘අපිට තියෙන්නෙ ඔයාගෙ වැඩේ විතරක් නෙවෙයිනෙ.’’ මේ වයෙ ස්ටාෆ් නෑ. ගිය ආණ්ඩුවෙන් 30ක් මාරු කළා. මේ ටික දෙනෙක් කොහොමද ඔච්චර වැඩ කරන්නෙ.’’

ඒ වුණාට මිස් අපි දවසම මෙතන රස්තියාදු වෙනවා. අපි ගෙවල්වල ළමයින්ගෙ වැඩ දාලා බඩගින්නෙ ඇවිදින්නෙ’’

‘‘හරි ඔයාගෙ වැඩේ කරන මිස් තාම ඇවිත් නෑ. එයා එනකොට ටිකක් පරක්කු වෙයි.’’ඒත් මිස් දැන් 10යි වෙලාව.’’

පසුව එම සේවාව සපයන නිලධාරිනියට එම ස්ථානයේ සිට ඇමතුමක් ලබා ගත් අතර ඇය පැවසුවේ තමන් තව සුළු වේලාවකින් පැමිණෙන බවයි. තවත් වේලාවකින් මට වැසිකිළි කැසිකිළි තිබෙන තැනකට යාමට අවශ්‍යතාව ඇති වූ බැවින් මා එහි පිටුපස ප්‍රදේශයට පිටත්ව ගියද ඒ අසලින් පැමිණි අධික දුර්ගන්ධය නිසා මම නැවතත් සිටි තැනටම දුව ගෙන ආවෙමි. පසුව එම අධිකාරියේ පැය දෙකකුත් විනාඩි 15ක් රැඳී සිටි මා නැවත ඉන් පිටව ආවේ උදෑසන 10 පසුවී විනාඩි 25ක් ගත වෙමින් තිබියදීය.

එහි පැමිණ නැවත යන අහිංසක ජනතාවගේ මුවින් පිට වූයේ ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසුව හෝ මෙම අධිකාරියේ හොඳ ප්‍රමිතියකින් යුතු සේවාවක් බලාපොරොත්තු වුවද එහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බවය. දුප්පත් අසරණ ඔවුහු දින, සති, මාස, අවුරුදු ගණන් අධිකාරිය වෙත පැමිණ බලාපොරොත්තු සුන් වූ හදින් යුතුව නැවත පිටව ගියහ.

ලිහිණි මධුෂිකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here