ජාතික හා බෞද්ධ කොඩි ආනයනය නැවැත්වීම ජනපතිගෙන් උපදෙස්

0
141

දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දංකොටුව කර්මාන්තපුරයේ ‘දංකොටුව ටෙක්ස්ටයිල් මිල් (පුද්) සමාගම, කඳාන කපුවත්ත වැන්ගාඩ් ඉන්ඩස්ට්‍රියල් (පුද්) සමාගම සහ වත්තල ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් (පුද්) සමාගම යන ආයතන ඊයේ (28 වැනිදා) නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපතිවරයාගේ විමසුමට ලක්විය.

පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පැවසූ අතර ඉන් විශාල පිරිසකට රැකියා අහිමි වූ

බවද සඳහන් කළහ. දංකොටුව කර්මාන්ත පුරයේ පිහිටුවා ඇති දංකොටුව ටෙක්ස්ටයිල් මිල් (පුද්) ආයතනය ප්‍රථමයෙන්ම ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත මෙම ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන අටක බැංකු පොලියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

මෙම ආයතනය ඉන්දියාව, පාකිස්තානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් පන්සියදෙනකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. මෙරට වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන එකොළහකි.

රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරීත්වය දිරි ගැන්වූ ජනාධිපතිවරයා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවැසීය.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරි කරගත හැකි බවද අනාවරණය විය.

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය අවධානය යොමු කළේය.

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් ඉන්ඩස්ට්‍රියල් (පුද්) ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටී. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමණාකාරීත්වය දිරි ගැන්වීය. තම ආයතනයටද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරීත්වය සඳහන් කළේය.

දංකොටුව ටෙක්ස්ටයිල් මිල් (පුද්) ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල් (පුද්) ආයතන ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ.

එක්දහස් පන්සීයක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකාරිත්වය ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.

රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඔවුහු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

ඇමැති විමල් වීරවංශ ද ජනාධිපතිවරයා සමග නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here