මෙවර කොවිඩ් සමාජගතවීමේ ඉඩ වැඩියි ඇඟලුම් ආයතනයට වයිරසය ආපු හැටි තාමත් දන්නෑ

0
195

ගම්පහ, ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයක් වන බැවින් සහ මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුර සංවෘත නොවන බැවින් පෙර අවස්ථාවලට වඩා මෙවර වයිරසය සමාජගත වීමේ අවධානම වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

‘‘ඕනෑම මෙහොතක කොවිඩ් – 19 වයිසරය සාමාන්‍යය සමාජයට නිරාවරණය වීමේ අවදානමක් තිබුණා. මෙතෙක් කාලයක් කොවිඩ් ආවේ පොකුරු විදියට. විශාලම පොකුරු වාර්තා වුණේ වැලිසර නාවික කඳවුරෙන් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්. නමුත් ඒ අවස්ථා පාලනය කරන්න හැකි වුණේ ඒවා සංවෘත ස්ථාන වූ නිසා. ඇඟලුම් ආයතනයත් පොකුරක් ලෙස සැලකිය හැකියි. නමුත් ඔවුන් නිවෙස්වල සිට ඒ ආයතනයට ගිය පුද්ගලයන්. මේ ආයතනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් සේවය කරනවා. දිගු සතිඅන්ත නිවාඩුව නිසා ඒ අය ගෙවල්වලට ගිහිල්ලා තියෙනවා.

එම ඇඟලුම් ආයතනයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 100 කින් 69 කට වයිරසය ආසාදනය වෙලා කියලා වාර්තා වුණා. ඊයේ (05 වැනිදා) තවත් දෙදෙනෙක් වාර්තා වුණා. පසුගිය තුන්වැනිදා වාර්තා වුණ කාන්තාව සහ ඇගේ දියණියත් සමග සමස්තය 73 ක් වෙනවා. මීට අමතරව එම ඇඟලුම් ආයතනයේ සේවකයන් 1600 කගේ පී.සීආර්. පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා. ඇඟලුම් ආයතනයට මෙම වයිරසය ආවේ කොහොමද කියලා අපි දන්නේ නෑ. අපි ඒ ගැන සොයමින් සිටිනවා. සමහර විට එය හොයාගන්නත් බැරිවෙයි. අපි එම ආයතනයේ පොකුර දිගටම නිවෙස්වල නිරෝධායනය කරන්නේ නෑ. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත කඩිනමින් යොමු කරනවා. ඒ වගේම එම ආයතනය නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර තිබූ බවත් අපි කිව යුතුයි. ඒ අය සෞඛය අංශ දැනුවත් කරලා තිබුණා. ඕනෑම තැනකින් මතුවීමේ හැකියාව මේ වයිරසයේ ස්වභාවයි.

කෙසේ නමුත් මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයාගැනීම. අපි ජනතාවට කියන්නේ එම ඇඟලුම් ආයතනයේ සේවය කරන පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන අය ලංකාවේ කොහෙහරි ඉන්නවනම් ඒ පළාතේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න කියලා. ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සහ පෙරකී පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීම ඉතාම වැදගත්. රෝහලකට යද්දී සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. අත් සෝදා ,හොඳින් මුඛ ආවරණයක් පැලඳිය යුතුයි. රෝහලට යාමේදී පොදු ප්‍රවාහනය භාවිත කරන්න එපා. පෞද්ගලික වාහනයකින් යාමට වගබලා ගත යුතුයි. එසේ ප්‍රවාහන පහසුකම් නොමැති නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න. ඒ අය අවශ්‍ය පියවර ගනියි.

අපි දිවයිනේ ප්‍රධාන රෝහල් හැම එකකම බාහිර රෝගී අංශයට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ තියෙන අයගේ පී.සී.ආර්. පරීක්ෂණ කරනවා. දිවුලපිටියේ කාන්තාවගේත් අහුඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණයක් කළා. ඒ නිසා තමයි මෙය හඳුනාගන්න ලැබුණේ. මේ වන විට ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේත් 20 ක් නිරෝධායනය කරලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිස විශේෂයෙන්ම සංචරන සීමා කරන්න. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න. දිවුලපිටිය , මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ ප්‍රදේශවල ජනතාව රැකියා ස්ථානවලට වාර්තා කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇඳිරිනීතිය පනවා තියෙනවා කියන්නෙම සංචරන සීමා පැනවීමක්. අපි ඒ අය රැකියා ස්ථානවලට යාම අනුමත කරන්නේ නෑ.

ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ළමුන් නේවාසිකාගාරවල නොසිට ගෙවල්වලට යාම සම්බන්ධයෙන් විවේචනයක් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ කොවිඩ් ආසාදිතයන් සිටි බවට සාධක නෑ. නමුත් ඒ පිරිස ගෙවල්වලට නොගොස් නේවාසිකාගාරවල රැඳී සිටීමට පුළුවන් වුණා නම් මේ අවස්ථාවේදී එය සෞඛ්‍ය අංශවලට පහසුවක් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය නොවන කිසිම සම්භාෂණයක් උත්සව අවස්ථාවක් පවත්වන්න එපා කියලා. තව දුරටත් අධ්‍යයනය කරලා අපට ඉදිරියේදී සීමා පනවන්න සිද්ධ වෙයි. ජනතාව ස්වයං පාලනයක නිරතවෙනවා නම් එය ඉතාම වටිනවා. පොත් ප්‍රදර්ශනයට අපි සීමා පැනවූවා. නමුත් එය උල්ලංඝනය කළා. ඒවා සිදු නොවිය යුතු දේවල්.

ඒවගේම කොවිඩ් රැල්ලකට මුහුණදීමේ ශඛ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා. ක්ෂණිකව අවශ්‍ය පහසුකම් සැපයීමේ හැකියාවක් දැනට තියෙනවා. අපි මේ වන විටත් මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන්කළා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මූලික රෝහල් ඇතුළුව ඊට ඉහළින් ඇති සෑම රෝහලකම කොවිඩ් ආසාදිතයන් සඳහා වාට්ටුවක් වෙන් කරලා තියෙනවා. මේ වෙද්දී අපට අවශ්‍ය තරම් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටලත් තියෙනවා.

කොවිඩ් තුන් වතාවක් ආසාදනය වුණ පුද්ගලයෙක් පිළිබඳව හලාවතින් වාර්තා වුණා. නමුත් මේ රෝගය නැවත නැවත වැලඳීමට ඇති ඉඩ අවමයි. කොවිඩ් – 19 වයිරසය මේ ලෝකෙට ඇවිත් තාම වසරක් ගතවෙලා නෑ. මේ රෝගය හැසිරීම ගැන කෙටිකාලයක් තුළ සම්පූර්ණයෙන්ම තීරණය කරන්න බෑ. බොහෝ විට එකම රෝගය නැවත නැවත හැදෙන්නේ ඒ වයිරසය තමුන්ගේ ස්වභාවය වෙනස් කරගෙන නව වයිරසයක් ලෙස මතුවන නිසා. කොවිඩ් ආසාදිතයකු සුව වූ පසුව නැවත නැවත මතුවීමේ හැකියාව තියෙනවා. මාස හතරක් පහක් මේ වයිරසය පවතින බවට සාධක තියෙනවා ලෝකයේ වෙනත් රටවල්වල.

නමුත් ඔහුගෙන් තවත් අයෙකුට ආසාදනය විය හැකි සක්‍රිය වයිරස නෙවෙයි පසුව නිකුත් වෙන්නේ. පී.සී.ආර්. එකකින් අපි බලන්නේ වයිරසයේ ආර්.එන්.ඒ. තියෙනවද කියලා විතරයි. ඒ වයිරසය ජීවිද නැද්ද කියලා අපි බලන්නේ නෑ. එය බැලීම සඳහා වයිරසය වගාකරන්න ඕන. නමුත් එවැනි දේ කිරීමට අපට රසායනාගාර පහසුකම් නෑ. මේ අවස්ථාවේදී වයිරස වගාකිරීමත් අවධානම් සහගතයි. අනික එහෙම අවශ්‍යතාවකුත් නෑ.

•ශිරන්තනි මානවඩු

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here