කොරෝනා දැලේ රටම පැටලේ

0
546

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන් 2500ක් සේවය කරන ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවක තිදෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් 170ක් පීසීආර් පරීක්ෂණවලට ලක්කර ඇති අතර ඉන් 11 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව පෙරේදා (10) සවස තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදිත සමස්ත 14න් 10ක් ඇඟලුම් සේවකයන් වන අතර ඉන් 04ක් සේවිකාවන්ය.

මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක පිරිස් 2000කට වැඩියෙන් සිටි ඇඟලුම් කම්හල් 03ක් තාවකාලිකව වසා දමා ඇත. එම කලාපයේ සමස්ත සේවක සංඛ්‍යාව 37,000කි. මේ දිනවල සේවයට වාර්තා කර ඇත්තේ එයින් 7000ක පිරිසකි.

හොරණ රෝහලේ හෙදියන් පස්දෙනකුට කොරෝනා

හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවේ සේවය කළ හෙදියන් පහකට කොරෝනා ආසාදනය වී තිබේ. එයින් දෙදෙනකු මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටද, තිදෙනෙක් අයිඩීඑච් රෝහලටද ඇතුළත් කර ඇත.

මෙම වාට්ටුවේ මුලින්ම රෝගය ආසාදනය වූ හෙදියගේ සැමියා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයකු වන අතර ඔවුන් පදිංචිව සිටින්නේ හොරණ කඳන්හේන ප්‍රදේශයේය.

මෙම තත්ත්වය මත හොරණ මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වහා පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්ද කළ අතර එම රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

කළුතර පලාතොට නිවසට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයා නිරෝධායනයට

බ්‍රැන්ඩික්ස් ආයතනයේ දින විසිපහක් පමණ සේවය කොට හදිසියේම කළුතර පලාතොට සිය නිවසට පැමිණ රැඳී සිටි බව කියන පුද්ගලයකු පිළිබඳව දකුණු කළුතර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වහාම එම පුද්ගලයා කළුතර, වස්කඩුව සිට්රස් හෝටලය ආශ්‍රිතව ඇති නිරෝධායන මධ්‍යස්ථානයට පසුගියදා (10දා) යොමුකර තිබේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ආ 100කට පීසීආර්

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරික පිරිස් සහ පාරිභෝගිකයන් අතුරින් 100ක් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ. කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද ඒ අතර වේ. තඹුත්තේගම ප්‍රදේශයේ 14ක් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ ආසාදිතයන් හයක්

ගිරිඋල්ල පොලිස් බල ප්‍ර​දේශය තුළ දෙවැනි වටයේදී කොරෝනා ආසාදිතයන් හය දෙනකු හමුවී ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සේවය සඳහා ගිය කාන්තාවන් ලෙස සැලකෙන මොවුන් දඹදෙණිය, අලව්ව පාර රිල්ඔලුව, කටුගම්පොළ, මැදවත්ත, බෝපිටිය, අරලිය උයන, අතුරුවල සහ වෑත්තෑව, කජුවත්ත යන ප්‍ර​දේශවලට අයත් අය බව පැවසේ.

අලව්වේ කොරෝනා ආසාදිතයකුගේ පළමු ආශ්‍රිතයන් හඳුනා ගැනේ

අලව්ව මහජන සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් සියල්ල මේ වනවිට හඳුනාගෙන තිබේ. දෙවැනි සහ තෙවැනි ආශ්‍රිතයන් හඳුනා ගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී.

මාඔය හරහා වෙනත් පළාත්වලින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් මෙම ප්‍රදේශයට පැමිණීම සෞඛ්‍ය තර්ජනයක්ව ඇති බවත්, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ හැකියාවක් නොමැති බවත් ප්‍ර​දේශවාසීහු පෙන්වා දෙති.

ආසාදිතයකු නිසා මීගමුව ආවේමරියා රෝහල වැසේ

නේවාසිකව සිට ප්‍රතිකාර ලැබූ රෝගියකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමග මීගමුවේ පිහිටි ආවේමරියා පෞද්ගලික රෝහල වසා දමා තිබේ.

මීගමුව පන්සල් හන්දිය පාරේ පදිංචි පුද්ගලයකු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනය කොට තිබේ.

පසුගිය ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනි දින උදෑසන දක්වා ආවේමරියා පෞද්ගලික රෝහලට ආගිය අයෙක් නම් මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කොවිඩ්-19 මෙහෙයුම් මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබාදෙන ලෙස බලධාරීන් ඉල්ලීම් කරයි.

කටුනායක ඇඟලුම් සේවිකාවන් 149ක් නිරෝධායනයට

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලවක සේවය කරන ඇඟලුම් සේවිකාවන් 149 දෙනකු නිරෝධායනය සඳහා අලුත්ගම දර්ගා නගරයේ ගුරු පුුුහුණු විද්‍යාලයට යොමුකර තිබේ.

බ්‍රැන්ඩික්ස් සේවිකාව ඇල්පිටියේ කඩ සාප්පු වසා දමයි

ඇල්පිටිය ප්‍ර​දේශයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොවිඩ් ආසාදිත සේවිකාවක් ඇල්පිටිය නගරයේ නීතිඥයකු හමුවීමට ගොස් තිබේ. ඒ අනුව අදාළ නීතිඥවරයා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර ඔහුට වයිරසය ආසාදනය නොවී ඇති බව එහිදී තහවුරු වී තිබේ.

මේ වනවිට නීතිඥයා ඇතුළු පවුලේ සාමාජිකයන් නිරෝධායනය කර ඇති අතර කාන්තාව සැරිසැරූ රෙදි සාප්පු, ආපනශාලා වසා දමා එහි පිරිස් නිරෝධායනය කර ඇත.

40 හැවිරිදි අයකු නිසාගම්පොළට කොවිඩ් රැල්ලක්

ගම්පොළ, කුරුඳුවත්ත, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබේ. ඒ ඔහු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඒ අනුව එම රෝහලේ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු සහ හෙදියන් දෙදෙනකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයකු නිරෝධායනය කර තිබේ.

මොහු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් සමග කතරගම ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහුටද වයිරසය ආසාදනය වී තිබේ.

මොහුගේ ආශ්‍රිතයන් 16ක් නිරෝධායනය කර ඇත. ඔහු රෝහල්ගත වීමට පෙර සැලෝන් එකකින් රැවුල කපා ඇති අතර එහි හිමිකරු ගමේ විහාරස්ථානය සමග සබඳකම් පැවැත්වූ අයෙකි. ඒ අනුව විහාරාධිපති හිමිනම ඇතුළුව තවත් දෙනමක්ද නිරෝධායනය කොට තිබේ.

බ්‍රැන්ඩික්ස් සේවිකාව නිසාදික්ඔය-හොන්සි වතුයාය අනාථයි

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර පසුගිය 18 වැනිදා දික්ඔය, පුලියාවත්ත, හොන්සි වතුයායේ රැඳී සිට තම නිවසට පැමිණි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සාමාජිකයන් රන්ටැඹේ යුද හමුදා මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍ර​දේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක ජීවත්ව තිබේ. බ්‍රැන්ඩික්ස් ආයතනය සහ යුද හමුදාව විසින් නෝර්වුඩ් පොලිසිය වෙත ඇය පිළිබඳව තොරතුරු ලබාදීමෙන් අනතුරුව අදාළ පොලිසිය විසින් ඇයව හඳුනාගෙන ඇත.

වැලිපැන්න සේවා පියසේආපනශාලාවේ හතරක් නිරෝධායනයට

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ ඉංගිරියේ පදිංචි කොවිඩ් ආසාදිත අයකු පසුගිය දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොටට පැමිණීමේදී වැලිපැන්න සේවා පියසේ ආපනශාලාවකට ගොස් ඇත. ඒ අනුව එම ආපනශාලාවේ හතර දෙනකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහාද යොමුකර තිබේ. ඔවුහු වලගෙදර, ලෙව්වන්දූව, නවුත්තුඩුව සහ ඇළදූව යන ප්‍රදේශවල පදිංචි අය වේ.

මන්නාරමටත් කොරෝනා ඇවිත්

මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් පස් දෙනකුට කොරෝනා වයිරසය ශරීරගතව ඇති බවට තහවුරු වී තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ සිට පැමිණ මන්නාරම ප්‍ර​දේශයේ පෙදරේරු වැඩ සිදුකළ පිරිසක පුද්ගලයකු වෙත කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුගිය 08 වැනිදා තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ආශ්‍රය කළ පිරිස්වල පීසීආර් පරීක්ෂා කිරීම සිදු කෙරිණි. මෙහිදී අනෙකුත් පිරිසට ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

දිවුලපිටිය දූනගහකොවිඩ් ආසාදිතයන් දෙකක්දඹුල්ල ආර්ථිකයට ගිහින්

දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් දෙදෙනකු ඉකුත් (04) දා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ උදෑසන 8.00 සිට ප.ව. 4.30 දක්වා රැඳී සිට තිබේ. ඔවුන් එහි වෙළෙඳසල් 80කට ගොස් ඇති බව තහවුරු වී ඇත.

ඔවුන් දෙදෙනා පසුගිය 1 සහ 2 වැනි දින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයකු සමග කතරගම ගොස් ඇත.

අදාළ පුද්ගලයන් දෙදෙනා මේ වනවිට රඹුක්කන මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඇඟලුම් සේවිකාව මොනරාගලසතිපොළට ඇවිත් 100කට පීසීආර්

ඇඟලුම් කම්හලක සේවය කරන කොරෝනා ආසාදිත කාන්තාවක් මොනරාගල සති පොළට පැමිණීම හේතුවෙන් එහි වෙළෙඳුන්ගෙන් 100කට ආසන්න ප්‍රමාණයක් පීසීආර් පරීක්ෂණයට භාජනය කර තිබේ.

රත්නපුර-කිරිඇල්ලෙන්කොරෝනා රෝගීන් දෙකක්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිත රෝගීන් දෙදෙනකු වාර්තා වේ. ඒ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි.

බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළව 59ක් නිරෝධායනය වේ. ඒ කිරිඇල්ල, නිවිතිගල, රත්නපුර, ඉඹුල්පේ සහ ඇළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලිනි.

බ්‍රැන්ඩික්ස් ආයතනයට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රියැදුරු-පවුලේ අය නිරෝධායනයට

බ්‍රැන්ඩික්ස් ආයතනයේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ගිය බියගම, පේරගස්හන්දිය ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියැදුරෙකු 10 වැනිදා සිට පවුලේ සාමාජිකයන්ද සමග නිරෝධායනය කර තිබේ.

බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඉවත්ව බියගම නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් ආයතනයක රැකියාවකට ගිය සේවිකාවක්ද ඇය නැවතී සිටින මල්වානේ, වල්ගම, කරාබුගස්හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාරයක තවත් අයකු සමග නිරෝධායනය කර තිබේ.

නාත්තණ්ඩියේ ප්‍රා.සභාමන්ත්‍රීවරුන් හතරකට මාරවිල විශේෂඥ වෛද්‍යවරයකුට කොරෝනා

නාත්තණ්ඩිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සහ මාරවිල ප්‍රදේශයේ සාත්තු නිවාසයක විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු 09 දෙනෙකුව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

හලාවත – අඹකඳවිල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් සමීප ලෙස ඇසුරු කර ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.මේ අතර නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පසුගිය 08 වැනිදා පවත්වා ඇත. එම සභා වාරයට සහභාගි වූ මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා සේවකයින් සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.

සිව්දෙනකු සමග ජාත්‍යන්තර මුහුදේමසුන් මරන්න ගිය ධීවරයාටත් කොරෝනා

හලාවත – අඹකඳවිල පදිංචි අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇත.

මොහු හලාවත – අඹකඳවිල, පළුගස්තැන්න පදිංචිකරුවකු වන 28 හැවිරිදි ධීවරයෙකි. මෙම ආසාදිතයා පසුගිය 08 වැනිදා හඳුනා ගත් අඹකඳවිල පෙර ආසාදිතයා සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇත.එම ගමනට තවත් පිරිසක්ද එක්ව ඇත.

විනෝද චාරිකාවෙන් පසුව මෙම ධීවරයා තවත් සිව් දෙනෙකු සමග මසුන් මැරීම සඳහා බහුදින යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදට යාම සඳහා 06 වැනිදා පෙරවරුවේ පිටත් වී ඇත. ගමන් කරමින් තිබූ බහු දින යාත්‍රාවේදී ඔහු රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා එය ආපසු හරවා ගෙන දික්ඕවිට වරාය දක්වා පැමිණ ඇත. රෝගී තත්ත්වයෙන් සිටි ධීවරයා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

මන්නාරම රදගුරු නිවසේ සේවකයන් දෙදෙනකුත් ආසාදිතයි

මන්නාරම රදගුරු නිවසේ සේවය කරමින් සිටි දෙදෙනෙකුට සහ ඉදිරිකිරීම් කටයුතු සිදු කරමින් සිටි සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදිත අයෙකු බවට පසුගිය 08 වැනිදා හඳුනා ගෙන ඇත. ඔහු වෙන්නප්පුව – ලුණුවිල පදිංචිකරුවෙකි. එම හඳුනා ගැනීමෙන් අනතුරුව රදගුරු නිවසේ සිටි 35 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. රදගුරු නිවසේ සේවය කරමින් සිටි 18 දෙනෙකු සහ ඉදිකිරීම් භාරව සිටි 27 දෙනෙකු ඒ අතර වේ.

ඔවුන් අතරින් 05 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට පසුගිය 10 වැනිදා රාත්‍රියේ ලැබී ඇති වාර්තා අනුව සඳහන් වේ. ඒ අතර ඉදිකිරීම් භාරව සිටි 04 දෙනෙකු සහ රදගුරු මැදුරේ සේවය කරමින් සිටි එක් අයෙකුද වේ.

ගොතටුවේ ආසාදිතයන් නැහැ

ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ සැක සහිත පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ රැසක් සිදුකර ඇති අතර එහිදී කිසිවකුටත් කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වී නොමැත.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් දරුවාගේ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පියාගේ දෙවන වර පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බව පෙන්නුම් කර නොමැත.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි සේවකයකු සමග ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය කර තිබේ.

දකුණු පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති එච්. ජී. පියසිරිත් ස්වයං නිරෝධායනයට

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවක් අහංගම එළුකැටිය ප්‍රදේශයේ පැවැති දානමය පින්කමකට පැමිණ යාමෙන් පසුව ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම දානමය පින්කමට සහභාගි වූ දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වන ඒ. ජී. පියසිරි ඇතුළු 311 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇත.

මේ අය අතර ඉමදූව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයට අදාළව මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් 4 දෙනකු හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින එක් දරුවකුද සිටී. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

මුහුදු ආරක්ෂකයන් දෙදෙනකුටත් කොරෝනා

හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයන් දෙදෙනකුට (10) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙකී මුහුදු ආරක්ෂකයන් දෙදෙනා ඉකුත් 26 වැනි දින හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට තිබූ අතර පී.සී.ආර්. පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ​ජෛව රසායනාගාරයේදී සිදුකරනු ලැබීය. මොවුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා තෙල්දෙණිය රෝහල වෙත පිටත්කර යැවීමට නියමිතය.

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයනිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

අක්මීමන රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීම සඳහා තීන්දු කොට ඇති බැවින් විද්‍යා පීඨයේ නේවාසික ශික්ෂණලාභී සිසු සිසුවියන් 503 දෙනකු සෞඛ්‍ය ආරක්ෂිතව සිය නිවෙස්වලට පිටත්කර යැවීමට ඊයේ (11) දින කටයුතු කරන බැව් උප පීඨාධිපති එස්. එන්. කේ. නානායක්කාර මහත්මිය පැවැසුවාය.

යුද හමුදාව මගින් විද්‍යා පීඨයේ නේවාසික ශික්ෂණලාභීන් 503 දෙනකු ආරක්ෂිතව සිය නිවෙස්වලට රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවද විද්‍යා පීඨයේ උප පීඨාධිපතිනිය සඳහන් කළාය.

Aruna.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here