පොල් ගෙඩියත් කිරන්න යයි.

0
192

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීම වෙනුවට එහි බර අනුව මිල තීරණය කිරීමේ ක්‍රමයකට යාම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව දේශයට වාර්තා වෙයි.

පොල් සංවර්ධන අධිකාරියේ සැලසුම් සංවර්ධන අධ්‍යක්ෂ පී. එදිරිමාන්න පවසන්නේ ගෙඩියේ බර ප්‍රමාණය අනුව මිල තීරණය කිරීමේ ක්‍රමයක් පිළිබඳ නිර්ණායක සකස් කිරීමට මේ දිනවල සාකච්ඡා අරඹා ඇති බවය. මේ ක්‍රමයට පොල් මිල තීරණය කිරීමෙන් වගාකරුවාට, වෙළෙන්ඳාට සහ අතරමැදියාට මෙන්ම පාරිභෝගිකයාට ද යම් සාධාරණයක් ඉටුවන බව ඔහුගේ අදහසය.

දැනටමත් හම්බන්තොට, මාතර හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවල කර්මාන්තශාලාවලට පොල් මිලට ගන්නේ බර අනුවය. බර අනුව ගෙඩියේ මිල තීරණය කිරීම අපේ රටේ පෙර සිට පැවතගෙන එන ක්‍රමයක් බව අධ්‍යක්ෂවරයා පවසයි. මේ ක්‍රමයට සාර්ථකව මිල පාලනය කළ හැකිය යන්න ඔහු ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ එලෙස පොල් මිල නියම කරන ක්‍රමයක් පිළිබඳ අධිකාරිය දැනුවත්ව නැති බවය. එවැනි ක්‍රමයක් හඳුන්වා දෙනවා නම් තීරණ ගත යුත්තේ පාරිභෝගික සේවා අධිකාරිය වන නමුත් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැති බවත් කවුරුන් කුමන ක්‍රමයක් යෝජනා කළත් එය ගැසට් කළ යුත්තේ පාරිභෝගික සේවා අධිකාරිය බවත් එම ප්‍රකාශකයා කීය.

යසවර්ධන රුද්රිගූ – දේශය පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here