ගම්පහ – කොළඹ කොරෝනා පාලනය කරන්න ගිලිහිලා..අද උදෑසන වන විට තත්වය මෙන්න.

0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙමින් තිබෙන බවද හෙතෙම පැවසීය.

මහජනතාව රෝගය පාලනය කර ගැනීමට ගන්නා උත්සහයන් පිලිබදව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි යැයිද බාලසූරිය මහතා සදහන් කළේය.

ඊයේ(26) දිනයේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනාවෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු “යම් තරමක් පාලනයෙන් ගිලිහෙමින් පවතින,” බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මව්බිම වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, මරදාන, ග්‍රෑන්ඩ් පාස්, මට්ටක්කුලිය ආදී ප්‍රදේශ රැසකින් මහා පරිමාණ වශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ බවය.

එලෙස දිගින් දිගට ම කොරෝනාවෛරස් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයින් ආගිය ස්ථාන ආදිය හඳුනා ගැනීම අතිශය දුෂ්කර වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

“මේ තත්ත්වය සරල නෑ. ගොඩක් පිරිසකට කොරෝනා ආසාදනය වෙන්න ගත්තහම ඔවුන්ගේ ආශ්‍රිතයින් හොයන එක ඉතා ම දුෂ්කරයි. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ආශ්‍රිතයින් පසුපස හඹා යන්න අපේ පිරිස ප්‍රමාණවත් නෑ මේ වගේ වැඩි වෙන්න ගත්තොත්,” උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මෙරට සමස්ත කොරෝනාවෛරස ආසාදිතයන් ගණන 8,000 ඉක්මවා ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනාවෛරස ආසාදිතයන් ගණන 8,413කි.ඉන් ආසාදිතයන් 16 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (26) දිනය තුළ පමණක් කොරෝනාවෛරස ආසාදිතයන් 541ක් වාර්තා වුණු අතර ඔවුන් අතරින් 499 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සලේ ආශ්‍රිතයින් බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන් ම, ඊයේ (26) දිනය තුළ නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වුණු කොරෝනාවෛරස ආසාදිතයන් ගණන 42කි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් අද (27) උදෑසන වන විට ආසාදිතයින් 4,941 වාර්තා වී තිබේ.

ඉන් පුද්ගලයන් 1,041 දෙනෙකු එම ඇගළුම් කම්හලේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයන් 3,900 දෙනා එම ඇගළුම් කම්හලේ කොරෝනා පොකුරට සම්බන්ධ පුද්ගලයන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද (27) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයන් 8,090 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

මේ අතර, ඊයේ (26) දිනය තුළ මෙරට පී.සී.ආර්. පරීක්ෂණ 7,682ක් සිදුකර ඇති අතර සමස්තයක් ලෙස මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ 458,518ක ප්‍රමාණයක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here