හරි තාක්‍ෂණය දුන්නා නම් පැයකට පී.සී.ආර්. 90 ක් කරන්න තිබුණා..පළමු රැල්ලෙන් පස්සෙ කොරෝනා ඉවරයි කියල හිතුවා

0

තම සංගමය යෝජනා කළ පරිදි නිවැරදි තාක්ෂණය ලබා දුන්නේ නම් මෙරට පැයකදී ‘පී සී ආර්’ පරීක්ෂණ 90කට වඩා කළ හැකිව තිබූ බවත්, එවැනි නවීනතම ‘පී සී ආර්’ යන්ත‍්‍ර සවි කර තිබුණේ නම් දිනකට එම පරීක්ෂණ 50,000ක ධාරිතාවක් වුවද සිදු කළ හැකිව තිබූ බවත් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කොරෝනා වසංගතයේ පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොරෝනා අහවර වූ බව හඟවමින් කටයුතු කළ නිලධාරීන් හේතුවෙන් ‘පී සී ආර්’ පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමි වූ බව පවසන ඔහු තවදුරටත් රටේ සියලූම රසායනාගාර ‘පී සී ආර්’ පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප‍්‍රතිඵල ලබා ගැනීමට තම වෘත්තිකයන්ට පැය අටක පමණ කාලයක් බලා සිටීමට සිදු වී ඇති බවත් සඳහන් කරයි.

අදාළ යන්ත‍්‍ර මිලදී ගැනීම සඳහා පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ලෝක බැංකුව මගින් ලබා දීමට නියමිතව තිබූ අතර, එය ජුලි මාසය වන විට බිලියන 180 දක්වා වැඩි කර ගැනීමට හැකිව තිබේ. එහෙත් කොරෝනා අහවර බව පවසා එම ආධාර භාවිතයට නොගත් බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව ‘කොරෝනා වසංගතය සඳහා රෝහල් පද්ධතිය සූදානම් කර තැබීමේ’ ලෝක බැංකු ආධාරය නිසි පරිදි භාවිත කිරීම අතපසු කරන ලද්දේ, යුනිසෙෆ් ආයතනය මගින් අදාළ උපකරණ මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට තීරණය කිරීම හරහා ඇතැම් දූෂිත නිලධාරීන්ට කොමිස් මුදල් ලබා ගැනීමේ අපහසුවක් ඇති වන නිසා යැයි තම සංගමය සැක පළ කරන බව ද රවී කුමුදේශ් මහතා කියා සිටියි.

මෙම තත්ත්වය හේතුවෙන් නිවැරදි තාක්ෂණය තම වෘත්තිකයන්ට නොලැබී ඇති බවත්, එය කළේ හිතාමතා බවත් එම ගැටලූ දඩමීමා කර ගනිමින් ‘පී සී ආර්’ පරීක්ෂණ ක‍්‍රියාවලිය ව්‍යාකුල කර දමමින්, තම තමන්ට පෞද්ගලිකව වාසි සිදු වන වෙනත් විකල්පවලට රට යොමු කර ගැනීමට රසායනාගාර සේවාවේ වගකිවයුතු පරිපාලකයන් උත්සාහ දැරීම භයානක තත්ත්වයක් බවත් ඔහු කියයි.

ධාරිතාව වැඩි කිරීම සඳහා වැඩිම මුදලක් වැයකර ඉදි කරන ලද මුල්ලේරියාව රසායනාගාරය මගින් අපේක්ෂිත ධාරිතාව නොලැබෙන බවත් එම රසායනාගාරය ඉදිකිරීමේ දී නිවැරදි තාක්ෂණික උපදෙස් ලබා ගෙන නොමැති බවත් අඩුම තරමින් එවකට සිටි රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා ඒ පිළිබඳව දැනුවත් කර නොමැති බවත් හෙතෙම කියයි. මෙම රසායනාගාරයේ සුළු කාර්මික දෝෂයක් පවා නිරාකරණය කර ගැනීමට පවා මේ මොහොතේ එයට වගකීමක් නොදරන චීන සමාගමක් මත යැපීමට සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් රසායනාගාරයේ නිසි ප‍්‍රයෝජනය රටට අහිමිව ඇති බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කීවේය.

ඒමන්ති මාරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here