පුස්සැල්ලාව පොලීසියෙන් පහත් වැඩක්..ජංගම වෙළෙන්දකුගේ භාණ්ඩ විසිකර කරත්තය පොලිසි ගෙනගිහින්.

0

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභාව මගින් වෙ‍ළෙඳ බලපත්‍ර ලබාගැනීමෙන් පසු පලතුරු, ලූනු, ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය අලෙවි කළ ජංගම වෙළෙන්දකු සතු කරත්තයක තිබූ භාණ්ඩ විසිකර, එම කරත්තය පුස්සැල්ලාව පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

මේ පිළිබඳව එහි හිමිකරු වන පුස්සැල්ලාව කළුගලවත්ත පදිංචි තිදරු පියෙකු වන වෙළු අමිර්තලිංගම් මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වෙත මේ පිළිබඳව පැමිණිලි කර ඇත. මෙම පුද්ගලයා වසරකට අධික කාලයක සිට මෙම ජංගම වෙළෙඳාම සිදුකර ඇති අයෙකි. මෙම වෙළෙඳ බලපත්‍රය සඳහා රුපියල් 1110ක මුදලක්ද ගෙවූ බව ඔහු පවසයි.

පසුගිය 17 වන දින සවස පුස්සැල්ලාව පොලිසියේ දෙදෙනකු පැමිණ මෙම ජංගම කරත්තයේ තිබූ භාණ්ඩ සියල්ල විසිකර කරත්තය පොලිසිය වෙත රැගෙන ​ගොස් ඇති බව අමිර්තලිංගම් මහතා පවසයි.

මේ නිසා කරත්තය තුළ තිබූ රුපියල් 12000ක් පමණ වටිනා භාණ්ඩ විනාශ වී ඇති බවත්, රුපියල් 30,000ක් වන ජංගම කරත්තයට හානි වී ඇති බවත් මොහු තම පැමිණිල්ලෙන් කියා සිටී.

තමාගේ තුන්වන දරුවා ලැබී සිටියදී එම දරුවා හා බිරිඳ බැලීමට ගම්පොළ ​රෝහල වෙත ගිය අවස්ථාවේ ​පොලිසිය පැමිණ මෙම විනාශය සිදුකර ඇති බවද අමිර්තලිංගම් මහතා පවසන අතර මේ හේතුව නිසා තමා මෙන්ම දරුවන්ටද බඩගින්නේ සිටීමට සිදුවී ඇති බවද ඔහු පවසයි.

මේ පිළිබඳව උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීල් සුගත්ගෙන් විමසීමේදී ඔහු කීවේ මෙම පුද්ගලයා ඉතා දුප්පත් අහිංසක අයකු බවත් ආර්.ඩී.ඒ. (මාර්ග සංවර්ධන අධිකාරිය) එකට අයිති පාර අසල මෙම ජංගම වෙළෙඳ රථය දමාගෙන සිටියේ ඊට අදාළ බලපත්‍රය සමග බවත්ය. මෙම කොරෝනා සමයේ මිනිසුන්ට ජීවත්වීමට ක්‍රමයක් නොමැති අවස්ථාවක පොලිසිය සිදුකර ඇත්තේ ඉතා පහත් වැඩක් බවත් ඔහු පැවැසීය.

පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රා.පො.ප. ඉන්දික හේම කුමාර මහතාගෙන් සිදුකළ විමසීමේදී ඔහු සඳහන් කළේ කළුගලවත්තේ පාලක ජානක පෙරේරා පැමිණිල්ලක් කර ඇති බවත් ඒ අනුව ජංගම වෙළෙඳ කරත්තය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. කරත්තයට කිසිදු හානියක් සිදුව නැති බවත් ඔහු පැවැසීය. දෙපාර්ශ්වය ගෙන්වා විභාගයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here