දිඹුලාගල පුරාවස්තු සහිත බිමක් වී වගාවට අරන් – භික්ෂූන්වහන්සේලා ඇතුලු ජනතාවගේ විරෝධය

0

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මුහුණලා තිබෙන නාමල්පොකුණ ප්‍රදේශයේ පුරාවස්තු රැසක් සහිත භූමියක් මෙවර වී සහ අනෙකුත් වගාවන් සඳහා තෝරාගෙන ඇති බව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා හා ජනතාව පෙන්වා දෙති.

මෙම පුරාවිද්‍යා භූමියේ ඇති චෛත්‍ය කොටස්, මුරගල් ඇතුළු පුරාවස්තු රැසක් විනාශ වී ඇති අතර ඒ අවට වටිනා ශාක වර්ග සහිත පරිසර පද්ධතියක් ද ඩෝසර් කර ඇති බව ප්‍රදේශවාසීහු කියති.

මේ වනවිට එම භූමියේ චෛත්‍ය කොටස් නිදන් හොරු විසින් විනාශ කර ඇති අතර, නිදන් වස්තු සෙවීම සඳහා වටිනා පුරාවස්තු කිහිපයකට හානි කර තිබෙන බවද දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා පවසති.

මෙම පුරාවස්තු විනාශය වහාම නතර කිරීමට අදාළ බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බවත් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානය මේ සඳහා යොමුකරවන ලෙසත් උන්වහන්සේලා ඉල්ලීමක් කරති.

අප මේ පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිඹුලාගල කොට්ඨාස කළමනාකාර තුසිත හේරත්ගෙන් කළ විමසීමකදී පැවැසුවේ පුරාවස්තු ඇති භූමියක් වී වගාව සඳහා වෙන්කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විනාශයක් සිදුවී ඇත්නම් පුරාවිද්‍යා නිලධාරීන් දැනුවත් කර ගතයුතු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

(ප්‍රසාත් සමන් -වැලිකන්ද – අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here