සේවකයින්ට පහසුකම් නෑ.ඒ ගැන මාධ්‍යට කියූ සුවසැරියේ තිදෙනකුගේ වැඩ තහනම්

0

සුව සැරිය 1990 ගිලන් රථ සේවකයින්ගේ ගැටලු පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම ගැන උරණ වූ එහි කළමනාකාරීත්වය තමන් ඇතුළු තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි සුවසැරිය සේවක සංමයේ සභාපතිනි මයුමි ප්‍රියංගිකා වීරසිංහ ‘අරුණ’ට ඊයේ (26 වැනිදා) පැවසුවාය.

සුවසැරිය ගිලන්රථ සේවයේ එක්දහස් තුන්සිය හැට හතරක් පමණ සේවක සේවිකාවන් සිටියද, ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ඇතුළු කිසිදු පහසුකමක් ලබානොදීම යන ගැටලු පිළිබඳව දැනුවත් කිරීමට ඉකුත් 24 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වූ බවත් එම කරුණු මුල් කරගෙන කළමනාකාරීත්වය විසින් මෙලෙස වැඩ තහනම කර ඇති බවත් සේවක සංගමයේ සභාපතිනිය සඳහන් කළාය.

සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංකා වීරසිංහ, උප සභාපති ආර්.එස්.එම්. ගජනායක, උප ලේකම් මධුසංඛ ලක්මාල් යන තිදෙනාගේ මෙලෙස වැඩ තහනම් කර ඇත.

සේවක ගැටලු රැසකට මුහුණපා සිටින සුවසැරිය විගණනයකට ලක් නොවීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් එම සේවක සංගමයේ සභාපතිනිය, මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියයි.

කොවිඩ් වයිරසය හමුවේ විශාල සේවයක් ඉටු කරන සුවසැරිය ගිලන් රථ සේවය අඩපණ කිරීමට තම සංගමය කටයුතු නොකරන බවද සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීම සඳහා එම ගිලන් රථ සේවයේ මානව සම්පත් අංශ ප්‍රධානී ගයාත්‍රිද සිල්වා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඇය දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඉෂාර රත්නකාර/මනෝජ් එදිරිසිංහ – මීරිගම(අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here