කොරෝනා වයිරසය හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණයක් රුපියල් 1500කට අඩු මුදලකින් සිදුකළ හැකි නව පරීක්ෂණ කට්ටලයක් (Test Kit) පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කරමින් තිබෙන බව උපකුලපති මහචාර්ය උපුල් දිසානායක පැවැසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ එළි දැක්වීමේ උත්සවයේදී පෙරේදා (28 වැනිදා) ඒ මහතා මේ බව පැවසීය.
නව පරීක්ෂණ කට්ටලය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විශේෂඥ කණ්ඩායම මේවනවිට දර්ශක (Sample) පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙන බවද ඔහු කීවේය.
ක්ෂේත්රයට ගොස් සිදුකරන පරීක්ෂණ මගින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි ලෙස නව උපකරණ කට්ටලය වැඩි දියුණු කිරීමට විශේෂඥ කණ්ඩායමේ අවධානය යොමුව තිබෙන බවත් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මූල්‍ය අනුග්‍රහය ලබාදී තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙයට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව මත දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන බවත් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 400ක පමණ ප්‍රමාණයක් සිදු කිරීමේ හැකියාව විශ්වවිද්‍යාල සතු බවත් උපකුලපතිවරයා පැවසුවේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවල කාලීන වැදගත්කම අගයා ප්‍රදානයන් ලෙස විශ්වවිද්‍යාලයට ලැබුණු පී.සී.ආර් යන්ත්‍ර දෙකක් රජයේ රෝහල් වලට ලබාදී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
කමල් සුරවීර – අරුණ