චීනය කිම් ජොං උන්ට කොරෝනා එන්නතක් විදී

0

චීනය අත්හදා බලමින් සිටින කොරෝනා එන්නතක් උතුරු කොරියානු නායක කිම් ජොං උන් ඇතුළු ඔහුගේ පවුලේ අයටත්, ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුටත් එන්නත් කර ඇති බවට තොරතුරු ඇතැයි උතුරු කොරියාව පිළිබඳ ඇමරිකානු විශ්ලේෂකයකු සඳහන් කර තිබේ. ඔහු මේ බැව් සඳහන් කර ඇත්තේ වෙබ් අඩවියකට ලියන ලද ලිපියකය.

හැරී කාසියානිස් නමැති මෙම විශ්ලේෂකයා සිය මූලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ ජපාන බුද්ධි නිලධාරීන් දෙදෙනෙකි. ඔහු පවසන ආකාරයට උතුරු කොරියානු නායකයා ඇතුළු පිරිසට එන්නත ලබා දී ඇත්තේ පසුගිය සති දෙක තුන ඇතුළතය. මේ ආකාරයෙන් මෙම පිරිසට ලබාදී ඇත්තේ චීනයේ කවර සමාගම අත්හදා බලමින් සිටින එන්නතද යන්න සඳහන් නොවේ.

මේ වනවිට කොරෝනා වයිරස එන්නත් අත්හදාබලමින් සිටින චීන සමාගම් තුනක් සම්බන්ධයෙන්ද මෙහි දැක්වේ. එනම් සයිනොවැක් බයෝටෙක් සමාගම, කැන්සයිනොබයෝ සමාගම සහ සයිනොෆාම් සමූහයයි. මෙම සමාගම් අත්හදාබලමින් සිටින එන්නත් එම අත්හදා බැලීම්වල සියලු අදියර සාර්ථකව අවසන් කර ඇත්ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් නොවේ. මෙම තත්ත්වය තූළ කිම් ජොං උන් එවැනි එන්නතක් භාවිත කළාය යන්න සැක සහිත බවද ඇතැම් නිරීක්‍ෂකයන් පෙන්වා දී තිබිණි.

මේ අතර උතුරු කොරියානු හැකර් කණ්ඩායම් විවිධ රටවල එන්නත් පිළිබඳ පර්යේෂණ කරන ආයතනවල අන්තර්ජාල අඩවිවලට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවටද පසුගිය දිනවල තොරතුරු පළ විය. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග එක්ව එන්නතක් සාර්ථක ලෙස අත්හදා බලමින් සිටින ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ අන්තර්ජාල අඩවිවලටද මේ ආකාරයෙන් ඇතුළු වීමට උත්සාහ ගෙන තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

දකුණු කොරියාව තුළ කොවිඩ් එන්නත් නිපදවන්නන්ගේ වෙබ් අඩවිවලට උතුරු කොරියානු හැකර්වරුන් ඇතුළු වීමට ගත් උත්සාහයක් වැළැක්වූ බව පසුගිය දා එරට බුද්ධි අංශ ප්‍රකාශ කර තිබිණි.

(සහන් වික්‍රමගේ – අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here