කොරෝනා පැනිය නීති විරෝධීයි..බීල ලෙඩ උනොත් අපි වඟකියන්නෑ – ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමය.

0

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වාදෙන්නේ එලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවය.

එමෙන්ම දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත් එවැන්නෙකු මේ ආකාරයෙන් ඖෂධයක් නිෂ්පාදනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවත් හෙතෙම කීවේය. යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර නිෂ්පාදනාගාරය සහ ඖෂධ වට්ටෝරුව ලියාපදිංචි කළ යුතු බැවින් එවැනි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර නීතිවිරෝධී ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර ඇති බවත් හෙතම සඳහන් කළේය.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර ගැනීමට නොහැකි බවද ආර්. කුලතිලක අවධාරණය කරයි.

මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වාදීමක් බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් යම් පුද්ගලයකු ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ නම් ඔහු ලියාපදිංචි වෛද්‍යවරයකු වීම අනිවාර්ය නොවන බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග ඊයේ (03 වැනිදා) පැවසීය.
කොවිඩ් වයිරසය සඳහා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර නමැති අය නිෂ්පාදනය කළ බව කියන ඖෂධයේ ගුණ අගුණ සොයා බැලීමට ආයුර්වේද වෛද්‍ය සභාව පර්‌යේෂණ ආරම්භ කර ඇත්තේ එම නිසා බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.

එමෙන්ම ධම්මික බණ්ඩාර නමැත්තා ව්‍යාජ වෛද්‍යවරයෙක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමේ බලය ඇත්තේ පොලිසියට බවත් ඒ අනුව ඒ පැමිණිලි කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සභාව බවත් කොමසාරිස්වරයා අවධාරණය කරයි.

කෙසේ නමුත් මෙම ඖෂධ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ අවධානයට යොමු වී ඇති බැවින් ඖෂධයට අදාළ ඉදිරි පර්‌යේෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු වන බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.

චාමර පල්ලේගෙදර ( ARUNA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here