මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් සිදුව ඇති පාඩුව දළ වශයෙන් රුපියල් බිලියනයක් පමණ වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. කෙසේ වෙතත් සිදුව ඇති පාඩුව නිවැරැදිව ගණනය කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා තක්සේරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව හෙට (8 වැනිදා) සිට ගණනය කිරීම් ආරම්භ කිරීමට නියමිතය.
ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් එහි ඉංජිනේරුවරයකු, ගණකාධිකාරියකු සහ බන්ධනාගාර අධිකාරිවරයකු යොමු කිරීමට සැලසුම් කර ඇත.
ගිනි ගැනීමට ලක්වූ ගොඩනැගිලි යළි ඉදිකිරීමට මාස හයක කාලයක් ගතවනු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුමාන කරයි. මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ ඇමැති අලි සබ්රි විසින් පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (7 වැනිදා) භාරදීමටද නියමිතය. එය අතුරු වාර්තාවක් වන අතර සම්පූර්ණ වාර්තාව මාසයක් ඇතුළත ලබාදෙන බව කමිටුව ප්‍රකාශ කරයි.
මේ අතර බන්ධනාගාරයේ ඇතිවූ ගින්නෙන් රිමාන්ඩ් භාරයේ පසුවන්නන්ගේ තොරතුරු ඇතුළත් වාර්තා ලිපි ගොනු සම්පූර්ණයෙන් විනාශ වී ඇත. රිමාන්ඩ් සිරකරුවන් 1800ක් මෙම බන්ධනාගාරයේ සිටි බව වාර්තා වෙයි. මෙම සිරකරුවන්ගේ ලිපි ගොනු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර පොලිසිය සඳහා ඒකාබද්ධව ලිපි ගොනු සකස් කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහාද මාස තුනක පමණ කාලයක් ගතවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
( ARUNA )