ඇස් වලට පෙනී පෙනී පුරාවස්තු විනාශ වෙනව බලන් මඩකලපුවේ ඉදල තේරුමක් නෑ…බලධාරීන්ට ඒව පේන්නෙත් නෑ.

0

මඩකලපුව කරදියන්ආරු පිහිටි ඉපැරණි පුදබිම භූමිය පුද්ගලික ඉඩමක් බව පවසා එම ඉඩමේ විහාරස්ථානයක් ඉදි කිරීමට ඉඩ දීමට නොහැකි බව එරාවුර් පත්තු ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් දන්වා තිබෙන බව පවසමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ දිවයිනට විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා සිටියහ.

අපි මෙම පූදබිම සොයා ගත්තේ 2016 වසරේදී. ඒ ස්ථානයේ ගල් කණු ඩෝසර්වලින් උගුල්ලලා පුරාවස්තු ගොඩගහලා දාගැබේ මැද්දේන් කටු කම්බි ගහලයි තිබ්බේ. ඒ නිසා යන්තමින් පුරාවිද්‍යාවේ ඇස හැරුණා.

ඒ සම්බන්ධයෙන් නඩුවක්ද දාලා තිබ්බා, ටික දවසක් පොලිස් ආරක්ෂාව දාලා තිබ්බා එතෙන්ට. ආයේ 2020 වනවිට එම පුරාවිද්‍යා භූමියේ හාලා වගා කරන්න කටයුතු කලා. මම ඒකට විරුද්ධ වුණහම මට නඩු දැම්මා.

මම එරාවුර් පත්තු ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් එම ස්ථානයේ විහාරස්ථාන හදන්න අවසර ඉල්ලූ‍වාම ඔහු මට ලිපියකින් දන්වා තිබෙනවා එම ස්ථානයේ ඉඩම් හිමිකරුවන් සමඟ සාකච්ඡුා කර ගත් තීරණයක් අනුව පුද්ගලික ඉඩමක් බැවින් විහාරස්ථානයක් සෑදීමට ඉඩ ලබා දිය නොහැකි බව.

කිස්තු පූර්ව තුන්වන සියවසට අයත් පුරාවස්තු සහිත ඉඩමක් පුද්ගලික ඉඩමක් වන්නේ කෙසේද? පුරාවිද්‍යා ස්මාරකයක සිට යාර 400 ක් පුරාවිද්‍යා රක්ෂිතයක් නොවේද? එසේ නම් පුරාවිද්‍යා රක්ෂිතය අයිති ඉඩම් පුද්ගලික සතු ඉඩම් වන්නේ කෙසේද.

පාලකයන් දිඝවාපියට සහ මුහුදු මහා විහාරයට මුල් තැන දීලා කටයුතු කළාට වැඩක් නෑ. නැගෙනහිර පළාතේ තවත් විනාශ වෙමින් පවතින පුරාවිද්‍යා ස්ථාන තිබෙන බවත් තේරුම් ගත යුතුයි. පුරාවිද්‍යා භූමි විනාශ කරල ඒවායේ වගා කරලා තිබ්බහම ඒවා පුද්ගලික ඉඩම් කියලා ප‍්‍රාදේශීය ලේකම්ලා සනාථ කරලා තියෙනවා.

පුරාවිද්‍යා ස්ථානයට නඩුවක් යන අවස්ථාවේදී ප‍්‍රාදේශීය ලේකම්වරයා කෙසේද පුද්ගලික ඉඩමක් කියලා කියන්නේ. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර පුරාවස්තු විනාශය දැන්වත් නතර කරන්න කටයුතු කරන්න. අපේ ඇස්වලට පෙනි පෙනී පුරාවස්තු විනාශ කරද්දී බලන් ඉන්නේ කොහොමද. අපිට එය වළක්වන්න බැරිනම් මඩකලපු ඉන්න එකේ තේරුම කුමක්ද? මතු පරම්පරාවට මෙම ජාතික උරුමයන් දැක ගැනීමට ආරක්ෂා කරන ලෙස මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරත්න හිමියන් පවසා සිටියහ.

( Divaina )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here