කාසල් රෝහලේ PCR පමාවෙන් දරු ජීවිත අනතුරේ.

0

කොළඹ කාසල් රෝහලේ පීසීආර්වලට ලක්වන මව්වරුන්ගේ පරීක්ෂණ වාර්තාවන් ලැබීමට පැය 48ක් හෝ පැය 72ක් වැනි කාලයක් ගතවීම හේතුවෙන් මව්වරුන් හා නූපන් දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසයි.

පසුගිය කාලයේ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් කීපයකටම මුහුණදීමට සිදුවූ බවත් සාමාන්‍යයෙන් විනාඩි 20ක් තුළ පීසීආර් වාර්තාව ලැබුණේ නම් මෙවැනි අවදානම් තත්ත්වයක් මගහරවා ගැනීමට පහසුවන බවත් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

කාසල් රෝහලට ඇතුළු වන කොවිඩ් අවදානම් සහිත ගැබිනි මව්වරුන් සඳහා පීසීආර් පරීක්ෂණයන් කිරීම අනිවාර්යය. ඔවනු්ගේ සාම්පල් වෛද්‍ය පර්‌යේෂණායතනය, මහරගම අපේක්ෂා රෝහල, සහ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කර එම වාර්තාවන් ලැබෙන විට පැය 48 හෝ පැය 72ක් වැනි කාලයක් ගත වන බවද වෛද්‍ය රත්නසේකර කියා සිටී. මෙලෙස ගැබිනි මව්වරුන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතාවන් මගහරවා ගැනීම සඳහා ඇති එකම විසඳුම වන්නේ රෝහලට පීසීආර් යන්ත්‍රයක් මිලදී ගැනීම පමණක් යැයිද මේ සඳහා රුපියල් ලක්ෂ 220ක මුදලක් වැය වන බවද පවසන අධ්‍යක්ෂවරයා ඒ සඳහා පරිත්‍යාගශීලීන්ට දායක විය හැකි යැයි කියා සිටී.

කාසල් රෝහලේ ස්ථාපිත කරන පීසීආර් යන්ත්‍රය ද සොයිසා කාන්තා රෝහලේ සහ පානදුර කේතුමති මාතෘ රෝහලේ ගර්භනී මව්වරුන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහාද යෙදවීමට කටයුතු කරන බැවින් එම රෝහල්වල මව්වරුන්ටද මෙය සහනයක් වනු ඇතැයිද පැවසේ.

මෙම රෝහල්වල මසකට 2500කට අධික දරු උපත් සිදුවන බවත් පීසීආර් යන්ත්‍රයක් ඇත්නම් මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිත වනු ඇති බවත් අධ්‍යක්ෂවරයා කියා සිටී.

රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ විවිධ සංකූලතාවන් පවතින මව්වරුන් සහ නූපත් දරුවන් රෝහල් ගත වෙන බැවින් ඇතැම් අවස්ථාවලදී මෙම මව්වරුන්ට විනාඩි 20ක් ඇතුළත සීසේරියන් සැත්කම කිරීමට අවශ්‍ය වුවද පීසීආර්. වාර්තාව ලැබනතෙක් සැත්කම් කළ නොහැකි බවයි.

මෙම තත්ත්වයන් මත උපදින දරුවන් විවිධ ආබාධයන්ට ලක්වීමේ අවදානමක්ද පෙන්වා දෙයි.

( ARUNA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here