ධම්මික පැණිය ගැන කතාකරන්නවත් කැමති නෑ…හිතු මනාපෙට බෙහෙත් බීල අහිතකර ප්‍රතිඵල ලැබෙන්න පුලුවන් – ඇමති සුදර්ශනී.

0

කොරෝනා මර්දනය මුලින්ම තිබුණේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි යටතේය. නමුත් කොරෝනා දෙවැනි රැල්ල භයානක අතට හැරෙද්දි එය මර්දනය කිරීම සඳහා වෙනමම අමාත්‍යාංශයක් පිහිටුවිය. ඒ අතරේ කොරෝනා මැඬලීමට තමා ඖෂධයක් නිපද වූ බව කියමින් පුද්ගලයෙක් කරළියට ආවේය. ඔහුගේ පැණිය කථානායක, සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු මැති ඇමැතිවරුද බීවෝය. ගිය සතියේදී කැබිනට් ප්‍රකාශකවරයා කීවේ මේ පැණියට අනුමැතිය දී ඇති බවය. මේ ඒ ගැන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමඟ කළ සාකච්ඡාවක කොටසකි.

කොරෝනා මර්දනයට සුදුසු එන්නතද? ධම්මික පැණියද?

එන්නත තමයි වඩාත්ම සුදුසු. එන්නත සමග සෞඛ්‍ය ආරක්ෂිත පියවර ජනතාව ගත යුතුයි. මුව ආවරණ පැලඳීම. අත් සේදීම, සමාජ දුරස්ථභාවය වැනි සෞඛ්‍ය කරුණු අකුරටම ඉටු කළ යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුයි. එන්නත ගත්තත් අපි ආරක්ෂක සෞඛ්‍ය ක්‍රම​ අනුගමනය කළ යුතුයි.

ධම්මික පැණිය ගැන ඔබේ අදහස කුමක්ද?

පැණිය ගැන කතා කරන්නවත් කැමැති නැහැ. අපි ජනතාව දැනුවත් වන ධනාත්මක පණිවුඩයක් ලබාදිය යුතුයි.

ධම්මික පැණිය අරගෙන කපු මහතා ඔබ හමුවෙන්න ආවාද?
නැහැ.

ධම්මික පැණිය සායනික පරීක්ෂාවකින් තහවුරු වෙලා නැහැ. ඔබගේ අදහස කුමක්ද?

කොවිඩ් පාලනයට යොදා ගන්නා ඖෂධ හෝ එන්නත් නිසි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතුයි. එසේ නොවුණහොත් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකියි. වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් ලබාදෙන ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් මිනිස් ශරීරයට අහිතකර නොවන බවට තහවුරු වීම අත්‍යවශයයි. එමගින් ඇති වන සංකූලතා, අතුරු ආබාධ පිළිබඳ නිවැරදි තක්සේරුවක් තිබිය යුතුයි.

ධම්මික පැණියට ආයුර්වේදයේ අනුමැතියක් ලැබුණා කියනවා.

ආයුර්වේදයේ දේවල් ගැන මගෙන් අහන්න එපා. අපි අනුමැතිය දුන්නේ නැහැ. ඔය පැණිය ගැන කතා කිරීම දැන් කල් ඉකුත් වෙලා තියෙන්නේ.

වෛද්‍ය විද්‍යාවට අනුව කාලි මෑණියන්ට පුළුවන්ද රෝගවලට බෙහෙත් ලබාදෙන්න?

ඒවා සංස්කෘතික විශ්වාස, විවිධ විශ්වාස. ඒවා සමග ගැටෙන්න කැමැති නැහැ. පෞද්ගලික විශ්වාස ජනතාව තුළ තිබෙනවා. වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යානුකූල පදනමේ තොරතුරු තමයි අපි ලබාදෙන්නේ.

මෘත ශරීර ආදාහනය පිළිබඳ ගැටලුවක් මතුව තිබෙනවා.මෙය විසඳන්නේ කොහොමද?

ඒ ගැන වි​ශේෂඥ වෛද්‍යවරු එක්ක කතා කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා. නව සොයා ගැනීම් සමග විද්‍යානුකූලව මේ ගැන සොයා බලන්න කියලා ඉදිරියේදී තීන්දුවක් ලැබෙයි.

උදයජීව ඒකනායක( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here