කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය.
නිවස තුළ හෝ රෝහලට ඇතුළත් කරන මොහොතේදී පුද්ගලයන් 383 දෙනකු මියගොස් ඇති අතර ඔවුනට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් 78 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව වාර්තා වූ බවද හෙතෙම පැවසීය.
කොළඹ ජාතික රෝහලේ දී මියගිය පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ පසුගිය ජුනි මස සිට ආරම්භ කළ ද කොවිඩ් ආසාදනය වී මියගිය පුද්ගලයකු වාර්තා වූයේ ඔක්තෝබර් 26 වැනිදා බවද එදින සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලය තුළ මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 78 දෙනා හඳුනාගත් බවද වෛද්‍යවරයා කීවේය.
තවද නිවස තුළ මියගිය පුද්ගලයන්ගෙන් සියයට 95 ක්ම විවිධ බෝ නොවන රෝගයන්ගෙන් දිගු කාලයක් පීඩා විඳි අය බව තහවුරු වී ඇතැයිද අධිකරණ වෛද්‍ය නිලධරිවරයා අවධාරණය කළේය.