2033 තෙක් දඬු­වම් හිමි රැඳ­වූ­ව­කුට ලිපි­ගොනු වෙනස් කර නිද­හස දීලා.

0

කූඨ ලේඛන සැක­සීමේ චෝද­නාව මත 2033 වස­රේදී නිද­හස් වීමට නිය­මි­තව සිටින සිර­ක­රු­ව­කුගේ ලිපි­ගොනු වෙනස් කර­මින් ඉකුත් දෙසැ­ම්බර් 25 වැනිදා නිද­හස් වීමට නිය­මිත බවට ව්‍යාජ කරුණු ඇතු­ළත් කළ ජේල­ර්ව­ර­යකු සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විශේෂ පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ.

මේ සිර­කරු සමඟි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කරන පාර්ලි­මේන්තු මන්ත‍්‍රී­ව­ර­ය­කුගේ ඥාති­යකු වන අතර ඔහුට බන්ධ­නා­ගා­ර­යෙන් පලා යෑමට උප­කාර කිරීම සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ සිටින මේ ජේල­ර්ව­රයා සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යුතු සිදු කිරීම සඳහා සහ­කාර බන්ධ­නා­ගාර අධි­කා­රී­ව­ර­ය­කුගේ ප්‍රධා­න­ත්ව­යෙන් බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය මහතා විසින් කමි­ටු­වක්ද පත් කර තිබේ.කූඨ ලේඛන සකස් කිරීමේ වැරැදි මත මේ සිර­කරු බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අතර ඔහු නිද­හස් වීමට නිය­මි­තව ඇත්තේ 2033 දීය.

මොහු සම්බ­න්ධ­යෙන් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බව අනා­ව­ර­ණය වීමෙන් පසු මේ සිර­කරු පසු­ගිය 03 වැනිදා යළි අත්අ­ඩං­ගු­වට ගත් අව­ස්ථා­වේදී ඔහු පාපො­ච්චා­ර­ණය කර ඇත්තේ වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ ජේල­ර්ව­ර­යකු තමාට පලා යෑමට උප­කාර කළ බවත් ඒ සඳහා ඔහුට රුපි­යල් ලක්ෂ­යක මුද­ලක් ලබා දුන් බවත්ය.

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි මේ සිර­කරු ඉකුත් යහ­පා­ලන ආණ්ඩුව සම­යේදී වාරි­ය­පොළ බන්ධ­නා­ගා­ර­යට මාරු කර යවා තිබූ අතර එහිදී ඔහු පලා ගොස් යළි අත්අ­ඩං­ගු­වට පත්විණි. පසුව යළිත් පසු­ගිය වස­රේදී වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යට මාරු කර එවා ඇත. එහිදී ඔහු ඉකුත් දෙසැ­ම්බර් 25 වැනිදා වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස්ව ගොස් පසුව අත්අ­ඩං­ගු­වට ගෙන යළිත් බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ. සිර දඬු­වම් නියම වීමට පෙර කොළඹ රිමාන්ඞ් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි සමයේ ඔහුට එක් අව­ස්ථා­වක ඇප නියම වූ අතර එම කාල­යේදී ඔහු මිය ගිය බවට ව්‍යාජ ලේඛන සකස් කර ඔහුගේ මව විසින් ඉදි­රි­පත් කළ අතර බොරැල්ල කනත්තේ ස්මාර­ක­යක්ද ඉදි­කර අධි­ක­ර­ණය නොමඟ යැවී­මට සැල­සුම් කර තිබිණි.

මේ සිර­ක­රු­වාගේ ලිපි­ගො­නුව වෙනස් කිරී­මේදී වාරි­ය­පොළ බන්ධ­නා­ගා­ර­යෙන් පලා ගිය බවට වූ සට­හන්ද අතු­රු­දන් කර ඇතැයි වාර්තා වේ. මේ සිර­ක­රුගේ ලිපි­ගො­නුවේ ඔහු බන්ධ­නා­ගා­රය තුළ සිදු කර ඇති සියලු නීති­වි­රෝධී ක්‍රියා සම්බ­න්ධ­යෙන්වූ ලිය­වි­ලිද අතු­රු­දන් කර ඇති අතර ඔහු යහ­පත් කල් ක්‍රියා­වෙන් පසුවී 2020 දෙසැ­ම්බර් 25වැනිදා නිද­හස්ව යෑමට නිය­මි­තව සිටි සිර­ක­රු­වකු බවට පෙන්වාදී තිබේ.

අදාළ සිර­ක­රු­ගෙන් මුදල් ලබා­ගෙන ඔහුට පලා යෑමට උදවු දුන්නේ යැයි චෝද­නාව එල්ල වීමත් සමඟ එම ජේල­ර්ව­රයා වීර­විල බන්ධ­නා­ගා­ර­යට මරු කර යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here