සේරුවාවිල රත්තරන් නිධියේ ඇත්ත කතාව

0

ත්‍රිකුණාමලයේ සේරුවාවිල ප්‍රදේශයෙන් හමුවූ රත්‍රන් නිධිය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබේ. 1950 දසකයේ මෙම නිධිය සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය වී තිබුණද රාජ්‍ය මට්මින් ඒ පිළිබඳ ගවේෂණයක් සිදු කෙරුණ් නැත. පසුව සේරුවාවිල ඛනිජ නිධියේ 1970 දසකයේ සිදු කළ ගවේෂණයකින් එහි තඹ, යපස් හා රත්‍රන් ඇති බවට හඳුනාගැනිණි. කෙසේ නමුදු 2009 අගෝස්තු 14 ගැසට් පත්‍රය මගින් සංවර්ධන කටයුතු සඳහා මෙම නිධිය යොදා ගැනීමට ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මෙම නිධියේ කැණීම් කටයුතු සිදු කිරීමේ අදහසක් යළි මතු වූයේ මෙම යපස් නිධිය හා හලාවත පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ මැදිහත්වීමෙන් සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අතර පසුගියදා පැවැති සාකච්ඡාවකින් පසුවය.

මෙම නිධිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසකි.
මෙම රන් නිධිය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ වාර්තා අතිශයෝක්තියෙන් පළ වූ ඒවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා හෝ අමාත්‍යංශය හෝ ලේකම්වරයා ලෙස මා හෝ මාධ්‍යයට නිශ්චිත ප්‍රකාශයක් කළේ නැහැ. මෙහි නිසි බලධාරියා පරිසර අමාත්‍යංශයයි. සේරුවාවිල ඔය කියන ප්‍රදේශයේ ඇති ග්‍රිඩ්වලින් 95ක්ම අයත් වන්නේ වනජීවී කලාපයටයි. මෙහි පළමුවැනි පියවර හැටියට ඒවා ගවේෂණය කළ යුතු ක්‍රමවේදය කුමක්දැයි යන්න පිළිබඳව භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් අපට වාර්තාවක් ලබා දෙනවා. එමගින් මෙම ගවේෂණ කටයුතු සිදු කරන ලෙසට වනජීවී දෙපාර්තමේන්තුවට හා එම රාජ්‍ය අමාත්‍යංශයට ඔවුන් දැනුම් දීමක් කරනවා. එහිදී පාරිසරික ඇගයුමක් සිදු කළ යුතුයි. කොතරම් ප්‍රමාණයක රත්‍රන් මෙහි තිබේද හා කුමන ප්‍රමාණයක යපස් තිබෙනවාද යන්න හඳුනා ගත හැකි වන්නේ ඉන් පසු එම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කොට අධ්‍යයනයක් කිරීමෙන් පමණයි යනුවෙන් සඳහන් කළේය.

මෙම රන්, තඹ හා යපස් නිධිය වර්ග කිලෝමීටර 54ක පමණ ප්‍රදේශයක පැතිර ඇතැයි වාර්තා වේ. එම භූමි ප්‍රදේශයෙන් මේ වන විට වර්ග කිලෝමීටර් 18ක් සංරක්ෂිත කලාපයක් බවට ගැසට් නිවේදනයක් මගින් නම් කර ඇත. 1971දී භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මුල් වරට මෙම නිධිය හඳුනා ගැනුණු අතර එය අරිප්පු, කොල්ලම්කුලම් සහ සේරුවාවිල වශයෙන් ප්‍රධාන කොටස් තුනකට අයත් යැයි පැවසේ. ඉන් ප්‍රධානම නිධිය තිබෙන්නේ කොල්ලම්කුලම් කොටසේය. සේරුවාවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් සී ප්‍රදේශයේ පිහිටි යකඩ සහ තඹ නිධියෙන් ලබාගත් සාම්පලවල ඉහළ ප්‍රතිශතයකින් යුත් රත්‍රන් අඩංගු බවට අනාවරණ වී තිබේ. එමෙන්ම එම සාම්පලවල පැලේඩියම්, ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍යයන්ද අඩංගු යැයි පැවසේ.

සේරුවාවිල ප්‍රදේශයේ වාණිජමය වශයෙන් රත්‍රන් ඇති බවට 1971 සිටම විවිධ ගවේෂණවල යෙදුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මුලින්ම ප්‍රකාශ කර තිබිණි. එවක පැවැති භූ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රංශ රජයේ ආධාර ඇතිව කරන ලද ගවේෂණයේදී එම ප්‍රදේශයේ යකඩ නිධියක් ඇති බවට අනාවරණ විය. ඒ හැර තඹ නිධියක්ද ඇති බව සොයා ගැනිණි. එහෙත් කර්මාන්තයක් වශයෙන් යොදා ගැනීමට ප්‍රමාණවත් තඹ එහි නොමැති බවට අනාවරණය වූ බැවින් එම ගවේෂණය අත්හැර දැමිණි. 2018-19 කාලයේ නව තාක්ෂණය යොදාගනිමින් යළි මෙම ප්‍රදේශයේ ගවේෂණ ආරම්භ කෙරිණි. එම ගවේෂණයේදී මීටර් 200ක් පමණ ගැඹුරට සිදුරු කොට සාම්පල ලබාගත් අතර එම ප්‍රදේශයේ රත්‍රන් ඇති බවට එහිදී අනාවරණ වූයේ ඒ අනුවය. මෙම ගවේෂණය සිදු කෙරුණේ වර්ග කිලෝමීටරයක පමණ ප්‍රදේශයකය. ඉතිරි ප්‍රදේශවලද ගවේෂණ කටයුතු සිදු කිරීමෙන් කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යා හැකි ප්‍රමාණයට රත්‍රන් පවතීද යන්න සොයා ගත හැකිවනු ඇත.

මෙම ඛනිජ නිධිය සම්බන්ධයෙන් ඇතැම් විද්වතුන්ගේ මතය මඳක් වෙනස්ය. එම නිධිය පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ සිදු කළ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ හිටපු සභාපති හා මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය කිත්සිරි දිසානායක මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සඳහන් කර තිබිණි.

“මා වසර 06කට වඩා වැඩි කාලයක් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ප්‍රධාන නිලයක් දරමින් සේවය කළා. දැනට රත්‍රන් විශාල වශයෙන් ඇතැයි පැවසෙන සේරුවාවිල ප්‍රදේශයේ අරිප්පු, කොල්ලාකුලම් වගේම බ්ලොක් සී කියන ප්‍රදේශවලට කිහිපවරක් ගිහින් නියැදි රැගෙන විත් මොරටුව විශ්වවිද්‍යාලයේ

පර්යේෂණ කළා. එහෙත් වාණිජ වශයෙන් ලාභදායි කර්මාන්තයක් කරගෙන යාමට තරම් ප්‍රමාණවත් රත්‍රන් ඇති බවට මටනම් වාර්තා වූයේ නැහැ. වාණිජ මට්ටමින් කළ හැකි මට්ටමට රත්‍රන් ඇති බව කිසිවකු සොයාගෙන ඇත්නම් ඒ පිළිබඳව දැනගැනීමට මාද කැමතියි. මොකද මා ද ලෝහ නිස්සාරණය පිළිබඳ ආචාර්ය උපාධියක් වගේම ඒ පිළිබඳ පර් යේෂණ කරන පිළිගත් විශ්වවිද්‍යාලයක දැනට සේවය කරන පුරවැසියෙකු නිසා.”යැයි සඳහන් කර තිබිණි.
සාමාන්‍යයෙන් පාෂාණ ටොන් එකක රත්‍රන් ග්‍රෑම් 0.5ක ප්‍රමාණයක් පවතී නම් එය ආර්ථික වශයෙන් වටිනා නිධියක් ලෙස සැලකේ. සේරුවාවිල ප්‍රදේශයෙන් ලබාගත් සාම්පලවල ටොන් එකකට රත්‍රන් ග්‍රෑම් 4ක් 5ක් පමණ ඇතැයි පැවසේ. විද්වතුන් සඳහන් කරනුයේ එක් ස්ථානයකින් ලබාගත් සාම්පල පමණක් පර් යේෂණයට ලක් කිරීමෙන් එවැනි තීරණයකට එළඹීම නුසුදුසු බවයි. සමස්ත ප්‍රදේශයම ආවරණය පරිදි ගවේෂණය කොට ඒ පිළිබඳව තීරණයක් ගත යුතු බවද ඔවුන්ගේ මතය වී තිබේ.
පේරාදෙණිය විශ්විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට අනුව මෙම ප්‍රදේශය හැර තවත් ස්ථාන පහක රන් නිධි පවතී. ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා වර්ග කිලෝමීටර 12,000ක පමණ කලාපය තුළ වෙනත් අගනා ඛනිජ වර්ග ඇතැයිද ඔහු සඳහන් කරයි.

සේරුවාවිල ප‍්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ඛනිජ නිධියේ පවතින රත්තරන් ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා මීට මසකට පමණ ඉහත ඇමෙයිකා නමැති
සමාගමකට ගවේෂණ බලපත‍්‍රයක් නිකුත් කර ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීම් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීහු පසුගිය 12 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. කැනේඩියානු – ශ‍්‍රී ලංකා අනුබද්ධ සමාගමක් වන එයට මෙම බලපත‍්‍රයට යටතේ සේරුවාවිල නිධියේ වර්ග කිලෝමීටර් හයක ප්‍රදේශයක ගවේෂණ කටයුතු සිදු කළ හැකි ය.

ප්‍රියන්ජන් සුරේෂ්ද සිල්වා – දේශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here