හොරොව්පොතානේ රඳවා සිටි අලි 5 දෙනෙක් කන්න නැතුව මැරිලා..31දෙනෙක් අතුරුදන්

0

හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි පස් දෙනකු ඉකුත් 2019 වසරේදී මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් වසරේ (2020) ඔක්තෝබර් මස නිකුත් කරන ලද වාර්තාවක් මගින් මේ බව අනාවරණය වන්නේ යැයි පරිසරවේදී සුපුන් ප්‍රකාශ් පවසයි.

හොරොව්පොතාන ප්‍රදේශයේ හෙක්ටයාර් 997ක භූමි ප්‍රදේශයක මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ 2012 වසරේ මාර්තු මස 17 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුවය.

2018 වසරේ නොවැම්බර් 01 වැනිදා සිට 2019 ඔක්තෝබර් 31 වැනිදා දක්වා කාලපරිච්ඡේදයේ හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින් තිස් දෙනකු සඳහා ආහාර සැපයීමට රුපියල් දෙකෝටි හැට එක් ලක්ෂ තිස්තුන් දහස් හත්සියයක (26,133,700) කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. නමුත් සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නැති බවටත්, අලි ඇතුන් ආහාරයට ගන්නා කොළ වර්ග පිළිබඳව අධ්‍යයනයක් නොකර සැපයුම් ගිවිසුම් සකස්කර ඇති බවත් අදාළ විගණන වාර්තාවෙන් අනාවරණය වේ.

අලි ඇතුන් ආහාරයට නොගන්නා කොළ වර්ගද ගිවිසුමට ඇතුළත්කර, මුදල් ලබාගෙන ඇති අතර, සපයන ලද ආහාරවල බර කිරීම සඳහා යොදාගෙන ඇත්තේ පෞද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියකි. මෙම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නිලධාරියකු පත් කිරීමටද බලධාරීන් කටයුතු කර නැත.

වන අලින්ට සැපයිය යුතු කොළ අතු හඳුනාගැනීම සඳහා පර්‌යේෂණයක්ද කර නැත. සියඹලා කොළ අතු සැපයීමට ගිවිසුමේ සඳහන්ව ඇතත්, අලි ඇතුන් සියඹලා කොළ ආහාරයට නොගන්නා බව අනාවරණය වේ.

හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් 04 වැනිදා සිට 2019 වසරේ ජුනි 25 වැනිදා දක්වා කාලසීමාවේ අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනකු පමණි. අලි දොළොස් දෙනකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 දෙනා අතුරුදන්වී ඇති බව විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here