හුස්මගන්න රටටම ඇත්තේ මැෂින් දෙකයි

0

කොරෝනා වැලඳී රාගම ශික්ෂණ රෝහලේ ද එතැනින් මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනට අන්තිමේදී නිව්මෝනියාවද වැලඳුණි. එහි ප්‍රතිඵලය වූයේ පෙණහලු දුර්වල වී හුස්ම ගැනීම අපහසුවීමයි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙන් අදාළ රෝගියාට අවශ්‍ය ඔක්සිජන් පෙණහලු මාර්ගයෙන් දෙනු ලැබේ. නමුත් වෛද්‍ය ගයාන්ගේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් විය. ඔහුගේ පෙණහලුවල ක්‍රියාකාරිත්වය දැඩි සේ දුබල වී තිබුණි. එයට එකම පිළියම සේ වෛද්‍යවරුන් නිර්දේශ කළේ ‘එක්මෝ’ යන්ත්‍රයකින් ඔහුට හුස්ම ගන්නට සැලැස්වීමටය. අන්තිමේදී එක්මෝ යන්ත්‍රයක් ඇති කරාපිටිය ශික්ෂණ රෝහලට ඔහු මාරු කර යැව්වේය. එනමුත් ඔහුගේ දිවි බේරා ගැනීමට නොහැකි විය. වෛද්‍ය ගයාන්ගේ මරණයත් සමග සැවොම කතා කළේ කරාපිටිය රෝහලේ ඇති ‘එක්මෝ’ යන්ත්‍රය පිළිබඳවය.

වැඩි පහසුකම් ඇති කොළඹ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි වෛද්‍ය ගයාන් එක්මෝ යන්ත්‍රයක් ඇති කරාපිටියට මාරු කිරීමෙන් පසු රටේ කතාබහට ලක් වූ මාතෘ‍කාවක් වූයේ මුළු ර​ටේම මෙවැනි යන්ත්‍රයක් ඇත්තේ කරාපිටියේ පමණක්ද යනුවෙනි.

ඇත්තවශයෙන්ම ලංකාවට ඇත්තේ ‘එක්මෝ’ යන්ත්‍ර දෙකක් පමණි. එයින් එකක් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇත්තේය. අනෙක කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත් සවිතර ඇත්තේය.

මෙම උපකරණය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ ‘එක්ස්ට්‍රාකොප්රියල් පටල ඔක්සිජන්කරණය යන්ත්‍රය’ (Extracorporeal Membrane Oxygenation) ලෙසිනි. අප ලෙහෙසියට එය ‘එක්මෝ’ යන්ත්‍රය ලෙස හඳුන්වන්නේය.

සාමාන්‍යයෙන් කෘත්‍රිම ශ්වසන උපකරණයක් පෙණහලු හා සම්බන්ධ වී රෝගියාට හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් නිපදවයි. නමුත්, රෝගියකු ‘එක්මෝ’ යන්ත්‍රයට සම්බන්ධ වූ විට ඔහුගේ රුධිර නාළිකාවලට කෘත්‍රිම පෙණහැල්ලක් මාර්ගයෙන් ඔක්සිජන් පොම්ප කර කාබන්ඩයොක්සයිඩ් පිටතට ගෙන යයි. ඉන්පසුව රෝගියාගේ ශරීර උෂ්ණත්වය අනුව හැඩගැසී නැවතත් ශරීරයට පිරිසිදු වූ රුධිරය දෙයි. මෙහිදී රෝගියාට හුස්ම ගැනීම පහසුකරන කෘත්‍රිම පෙණහලු වන්නේත් මේ කියන ‘එක්මෝ’ යන්ත්‍රයයි.

මෙහි තවත් විශේෂත්වයක් ඇත්තේය. එනම් එක් ‘එක්මෝ’ යන්ත්‍රයකින් කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැක්කේ එක් අයකුට පමණි. එයත් වයස් කාණ්ඩ අනුව වෙනස් වන්නේය. එනම් එක්මෝ යන්ත්‍රයක් රෝගියකුට සවි කරන්නේ ඔහුගේ ගෙල පෙදෙසෙහි කැපුමක් කොට එයින් කුඩා නළයක් ශරීරයට එක් කිරීමෙනි. මෙහිදී, වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට කියා විවිධ ප්‍රමාණයේ ‘එක්මො’ නළ ඇත්තේය. මේවා භාවිත කළ හැකි වන්නේද එක් වරක් පමණි. එහිදී එක් එක්මෝ නළයක් සඳහා විශාල වියදමක් දැරීමටත් සිදුවේ. සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුට එක්මෝ යන්ත්‍රයක් මාර්ගයෙන් කෘත්‍රිම ශ්වසනය දීමට රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය වන්නේය. ‘එක්මෝ’ යන්ත්‍රයක මුළු වටිනාකම කෝටි තුනක් වන්නේය.

එපමණක් නොව, මෙම යන්ත්‍රය හැසිරවීමට ඒ පිළිබඳව මනා පළපුරුද්දක් ඇති වෛද්‍යවරුන්, නිලධාරීන් සිටිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කීවේය. එමෙන්ම සිය රෝහල සතුව ඇති එකම ‘එක්මෝ’ යන්ත්‍රය පවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේත් වසරකට කිහිප වතාවක් පමණක් බව ඔහු කීවේය. නමුත්, රටේ පවතින අවශ්‍යතාව මත එම ‘එක්මො’ යන්ත්‍රය පවා දීමට හැකි බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය.

හර්ෂණි දිසානායක ( ARUNA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here