සීගිරිය අභය භූමියේ වන අලි බහුලව ගැවසෙන රජයේ රක්ෂිත භූමියක් සංවිධානාත්මක කණ්ඩායමක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත අත්පත් කරගෙන ගස් සිටුවීමේ මුවාවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුර හෙළි වී තිබේ.
රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රබල දේශපාලනඥයන්ගේ ඉඩම් ජාවාරම්කරුවන්ගේ තර්ජන හේතුවෙන් ප්‍රදේශවාසීන් මේ ඉඩම් ජාවාරම දැක දැඩි නිහඬතාවක් රකින බවත් මේ පිළිබඳ කිසිදු අයකුගේ අවධානයක් යොමු නොකරන බවද ප්‍රදේශවාසීහු පවසති.
පසුව අප ඉතා සූක්ෂ්ම ලෙස රහසිගත කැමරා උපයෝගී කරගෙන ප්‍රදේශවාසීන් කීපදෙනෙකු සමඟ සීගිරිය අභයභුමියේ පොතාන ප්‍රදේශයේ පිහිටි මේ රජයේ රක්ෂිතයට ඇතුළු වුණෙමු. ප්‍රදේශවාසීන් පවසන පරිදි මේ රජයේ රක්ෂිතයේ අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට පැවරී ඇත.
කාලයක් තිස්සේ වන අලින්ගේ සහ වන සතුන්ගේ නිජභූමි බවට පත්ව ඇති අක්කර හැටක් හැත්තෑවක් පමණ වූ විශාල භූමියක් මේ සංවිධානාත්මක කණ්ඩායම් විසින් අත්පත් කරගෙන කැලැව හෙළි කොට මායිම් වෙන් කොට තම තමන් අල්ලා ගත් භුමිවල ඉතා සූක්ෂම ලෙස පොල්,අඹ,කටු අනෝදා, ඇඹරැල්ලා පැළ සිටුවා තිබෙනු දැක ගැනීමට හැකි විය.
මේ අඹ සහ පොල් පැළ සිටුවා ඇත්තේ ද නියම ප්‍රමිතියකින් නොවන බව එහි සිදුකළ විමර්ශනයේදී අපට හෙළි වූයේ එක උදළු තලයක් හාරා ඉඩම් අත්පත් කර ගැනීමට පමණක් මේවා පෙනුමට සිටුවා ඇති බව අනාවරණය විය.
සීගිරිය පොතාන වසම භාර ග්‍රාම නිලධාරීවරයා වන සංරක්ෂණ නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ද සහාය ඇතිව මේ වන විනාශය සිදු කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.
සීගිරි ගල පෙනෙන මායිමේ වන සතුන්ගේ භූමි මෙසේ අත්පත් කරගන්නා බවත් පසුව සංචාරක හෝටල් සඳහා මේ ඉඩම් විකිණීම ජාවාරම්කරුවන්ගේ ඒකායන ක්‍රමවේදය බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙන ගම්මු කියා සිටියේ මේ නිසා වන අලින් ගම්වදින බවයි .
මේ ඉඩම් අත්පත් කර ගැනීම පිටුපස දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය පොතාන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිවරයා සිටින බව ප්‍රදේශවාසීන් පැවසූ නිසාම අප ග්‍රාම නිලධාරී කාර්යාලයට ගොස් ඒ මහතා හමු වී ප්‍රශ්න කළෙමු.
අප එම ස්ථානයට යන විටත් ග්‍රාම නිලධාරිවරයා කාර්යාලයේ සිටි අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කරද්දී ඔහුගේ පිළිතුර වූයේ කැමරා නිවාගන්නා ලෙසයි. අප පෙරළා ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ග්‍රාම නිලධාරීයා කියා සිටියේ තමන් එවන්නක් ගැන නොදන්නා බවත් එහි අවශ්‍ය කරුණක් වෙතොත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කොට ඇති බවයි.
සීගිරිය අභය භූමියක් නිසාම වනජීවී දෙපාර්තමේන්තුවට ද මෙහි අයිතියක් ඇති නිසා අප සීගිරිය වනජීවී කාර්යාලයට ගොස් විමසුවෙමු. එහි ප්‍රධානියා නොසිටි අතර වනජීවී නියාමකවරයකු කියා සිටියේ දැනට ඉඩම් ජාවාරම වන ප්‍රදේශය තම භූමියෙන් පිටත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක් බවයි.තම ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් සහ අත්පත් කර ගැනීම සියලු දෙනාට වනජීවී දෙපාර්තමේන්තුව මගින් නීතිය ක්‍රියාත්මක කොට ඇති බව එම නිලධාරියා පැවසීය.