ලීසිං සමාගම් මහ බැංකුව එක්ක එකතුවෙලා කරන වැඩවලින් අපි අන්ත අසරණවෙලා

0

මූල්‍ය ආයතනවලින් සහ බැංකුවලින් ගත් ණයවලින් සංචාරක රථ මිලදී ගත් රියැදුරන් තම කර්මාන්තය කර ගැනීමට නොහැකිව අසරණව සිටියදී මූල්‍ය ආයතන මගින් ලීසිං වාරික සඳහා මහ බැංකුවේ එකඟතාව පරිදි 11.5% ක වැල් පොලී මුදලක් එකතු කර ගැනීමට සහ වාහන අත්පත් කර ගැනීමට කණ්ඩායම් එවීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා සංචාරක රියැදුරන්ගේ එකමුතුව මගින් ජා-ඇල පමුණුගමදී මාධ්‍ය හමුවක් කැඳවමින් තම දුක් ගැනවිල්ල රජයට ඉදිරිපත් කෙරිණි.

එම සංගමයේ සභාපති මනෝජ් ලංකා විජේතුංග “ඉකුත් පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතය හේතුවෙන් මේ රටේ සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. සංචාරක රියැදුරන් එමගින් විපතට පත් ප්‍රධාන පිරිසක්. අපි මේ රටට විදේශ විනිමය ගේන්න මුල් වූ පිරිසක්. අපි රටේ නිල නොලත් තානාපතිවරුන් වගෙයි. එහෙම අපිට තමයි ලීසිං සමාගම් මහ බැංකුවත් එක්ක එකතු වෙලා තඩි බාන්නේ. අද රටේ සංචාරක කර්මාන්තය නෑ කියන එක තමයි ඇත්ත තත්ත්වය. වෙනදට දිනකට සංචාරකයන් තුන්දහසක්, තුන්දහස් පන්සීයක් ආවා. නමුත් දැන් දින තුනකට හතරකට වරක් හැත්තෑවක්, අසුවක් එනවා. ඒ කියන්නේ සංචාරකයෝ නෑ කියන එකයි.

දැන් සංචාරකයෝ ඇද්ද අපේ වාහනවල රියැදුරන්ට උන්හිටි තැන් අහිමි වෙලා තියෙනවා. ඔවුන් තම වාහනවල රොටී විකුණනවා, නැත්නම් එළවළු විකුණනවා මේ තත්ත්වයේ ඉන්න අපිට මූලික ලීසිං මුදලට 11.5% ගෙවන්න කියලා කියනවා. එය මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වාරික සමග ගෙවන්න කියනවා. කිසිදු ආදායමක් නැති අපි මේ මුදල් කොහොමද ගෙවන්නේ.”

ශ්‍රී ලංකා සංචාරක රියැදුරු එකමුතුවේ ලේකම් සමන්ත සූරියආරච්චි.

“අප සංගමයේ සාමාජිකයන් දෙදහසක් පමණ ඉන්නවා. ඔවුන් සියලුමදෙනා මේ වනවිට විවිධාකාර ආර්ථික අපහසුකම්වලින් පීඩාවට පත්ව ඉන්න අවස්ථාවක අතිරේක පොලියක් ගෙවන්නට හැකියාවක් නෑ. අපි අපගේ ලීසිං වාරික ගෙවීම කරනවා. අපි කියන්නේ අපිට ඒ සඳහා 2022 වර්ෂය තෙක්වත් අවස්ථාවක් දෙන්න කියලයි. අපේ ගෙවල්වලට සීසර්ලාගේ පතාලය එවනවා. මෙය ඛේදනීය තත්ත්වයක්. අපි ඉල්ලා සිටින්නේ අපගේ දුක රජයට කියන්න අවස්ථාවක් දෙන්න කියලයි. ජනපතිතුමා, මහබැංකුව හා සංචාරක අමාත්‍යාංශය සමග එකට කතා කරන්න අවස්ථාවක් දුන්නොත් අපගේ තත්ත්වය ගැන වගකිව යුත්තන්ට පැහැදිලි කර දිය හැකියි. අපගේ වාහන ලීසිං සමාගම් දැන් අරගෙන ගියොත් නැවත සංචාරක කර්මාන්තය පණ ගැන්වුණ දිනයකදී සංචාරකයන් රට වටා ගෙනියන්නේ ලීසිං සමාගම්ද?

මේ අවස්ථාවේදී බුද්ධිකා සරත්චන්ද්‍ර, වසන්ත මැදගොඩ යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ

( ප්‍රසංඟ කළුහේවා – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here