නිරෝධායන නීතිවලට පිටුපෑවොත් කොවිඩ් තුන්වැනි රැල්ල ඇතිවීම වළක්වන්න අමාරුයි..ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි.

0

කොවිඞ් නව වෛරස් ප‍්‍රභේදය වැළඳී ඇති රෝගීන් දෙදෙනකු හඳුනා ගැනීමත් සමඟ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කරන්නැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කොළඹ නගර වැසියන්ගෙන් හා කොළඹ නගරයට පැමිණෙන සියලූ දෙනාගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව මුඛ ආවරණ පැළඳීම, දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීම, නිතර දෑත් සබන් හෝ දෑත් පිරිසිදු කාරක යොදා පිරිසිදු කරගැනීම ඇතුළු සෞඛ්‍ය පුරුදු තවදුරටත් පවත්වාගෙන කටයුතු කරන්නැයිද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම නව වෛරස් ප‍්‍රභේදය ඉතා වේගයෙන් පැතිරයන එකක් බවද හෙතෙම කීය.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් කටයුතු කළහොත් කොවිඞ් තුන්වැනි රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතාකළ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මෙසේද කියා සිටියේය.

”ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කොළඹ නගරයේ රෝගීන් දෙදෙනකු සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලට අනුව ඔවුන්ට කොවිඞ් නව වෛරස් ප‍්‍රභේදයක් ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ නිසා කොළඹ නගරයේ ඉන්න ජනතාවගෙන් හා කොළඹට එන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය තුළ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරන්න කියන එකයි. මේ නව වෛරස් ප‍්‍රභේදය විශේෂය එංගලන්තයේ පැතිරයමින් තිබෙන එකක්. ඉතා වේගයෙන් මේ වෛරසය පැතිරයමින් තිබෙනවා. දැනටමත් මේ වෛරසය වැළඳුණු රෝගීන් ප‍්‍රදේශ හතරකින් හඳුනාගෙන තිබෙනවා.

ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර කටයුතු කළහොත් මේ වෛරසය කොළඹ නගරයේ වේගයෙන් පැතිරයන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ කොළඹ නගරයේ ඉන්න ජනතාවට වගේම කොළඹ නගරයට එන ජනතාවටත් විශේෂ වගකීමක් පැවරිලා තියෙනවා. ඒ වගකීම පැහැර හැරියහොත් කොවිඞ් තුන්වැනි රැුල්ලක් ඇතිවීම වළක්වන්න අමාරුයි.

( ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා – දිවයින )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here