වාෂ්ප දුම්රිය හැටන්වලදී ලෙඩ දෙයි..රුසියාවේ දෙවැනි කෝටිපතියාට යකා නගී

0

කොළඹ කොටුව සිට නානුඔය දක්වා ධාවනය වූ වයිස්රෝයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ඊයේ (11 දා) කාර්මික දෝෂයකට ලක්වී පැය දෙකකට අධික කාලයක් ප‍්‍රමාද වීමෙන් එහි ගමන් ගත් රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද දැඩි අපහසුතාවට පත් වූහ.

රුසියාවෙන් මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින එරට දෙවැනි කෝටිපති ව්‍යාපාරියකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පෞද්ගලික ආරක්ෂක අංශයේ අටදෙනකු ද සංචාරක මණ්ඩලයේ අනුමැතියෙන් යුතු වාෂ්ප එන්ජිම සහිත වයිස්රෝයි දුම්රියේ 10 වැනිදා කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මුදල් ගෙවා එම දුම්රිය වෙන් කරගෙන ඇත.

එම වාෂ්ප එන්ජිම සහිත වයිස්රෝයි දුම්රිය 10 වැනිදා නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගාල් කර ඊයේ (11 දා) නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අවස්ථාවේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ වාෂ්ප එන්ජිම කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

මේ සම්බන්ධයෙන් රුසියානු කෝටිපති ව්‍යාපාරිකයා දැඩි ලෙස උරණ වීම නිසාවෙන් කාර්මික දෝෂයකට ලක් වූ වයිස්රෝයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ගලවා ඉවත් කර ඩීසල් එන්ජිමක ආධාරයෙන් රුසියානු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිස රැගත් වයිස්රෝයි දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරිණි.

එම දුම්රිය පස්වරු 12.15 ට ගමනාන්තය වෙත පැමිණීමට නියමිත වුවද දුම්රිය පැමිණ ළඟා වී ඇත්තේ පස්වරු 2.25ට පමණ බව දුම්රිය ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම කාර්මික දෝෂය හේතුවෙන් වාෂ්ප එන්ජිම සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී ඇති අතර එය කොළඹ බලා ඇදගෙන ඒමට සිදුවෙනු ඇතැයි දුම්රිය ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘දිවයින’ කරන ලද විමසීමකදී දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. එස්. පොල්වත්තගේ මහතා කියා සිටියේ මෙම වයිස්රෝයි දුම්රිය දිනපතා ධාවනය නොවන බැවින් මෙවැනි කාර්මික දෝෂයන්ට ලක්විය හැකි බවය. මෙම සේවාවේ වෙන් කිරීම් පෞද්ගලික සමාගමක් විසින් සිදු කෙරෙන බවත් එහි ගමන් ගන්නා මගීන් කවුරුන්ද යන වග තමන් නොදන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here