වාහන ආනයනය තහනම් කිරීම නිසා ඇතැම් ආනයනකරුවන් දුෂ්කරතාවන්ට පත්ව සිටියත් තවත් ආනයනකරුවන් පිරිසකට එම තහනම මුදල් උපයන ඉල්ලමක් වී ඇතැයි වාර්තාවේ.
විදේශ විනිමය රටින් පිටට යෑම වළක්වා ගැනීම සඳහා වසරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබේ. කෙසේ වෙතත් මෙම ආනයන තහනම පැනවීමත් සමග තමන් සතුව තිබූ ආනයනය කළ වාහන සැඟවූ ආනයනකරුවන් පිරිසක් මේ වන විට ඒවා සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට වඩා රුපියල් ලක්ෂ 10-15ක් පමණ වැඩි මිලකට අලෙවි කරන බව දැන ගන්නට ඇත.
ඇතැම් වාහන ආනයනකරුවන් ආනයන තහනම පැනවූ වහාම රටපුරා සුළුපරිමාණ වාහන අලෙවිකරුවන් සතුව තිබූ ලියාපදිංචි නොකළ වාහනද අඩු මිලට මිලදී ගෙන තිබේ. සීමාවන් යටතේ හෝ වාහන ආනයනය කිරීමට බහුතර වාහන ආනයනකරුවන් රජයෙන් ඉල්ලීම් කරද්දී සුළු පිරිසක් ඊට අකමැත්ත පළ කරන්නේ එසේ වුවහොත් ඔවුන්ගේ ජාවාරමට බාධා සිදුවන නිසා බව වාහන ආනයනකරුවෝ පිරිසක් පැවසූහ.