දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරා සිවිල් ඉංජිනේරුවා කැලිඩෝ මුහුදේ සැඟවේ.

0

කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ මුහුදේ රළ පහරට ගසා ගෙන යමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් බේරාගත් තරුණයෙකු ඉකුත් 12 දින රළ පහරකට හසුවී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුගම කලුපහන පදිංචි දිමිනිගේ ධනුක ශ්‍රීමාල් නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා තවත් මිතුරන් පිරිසක් සමග පානදුර සිට කැලිඩෝ වෙරළ තීරයට පැමිණ අවට සිරි නරඹමින් සිටින අවස්ථාවේ කුඩා ළමුන් දෙදෙනෙකු මුහුදේ රළ පහරට හසුවී ගසාගෙන යන අයුරු සහ ඔවුන් බේරා ගැනීම සඳහා කාන්තාවන් කිහිපදෙනකු උත්සාහය කරද්දී ඔවුන්ද රළ පහරට හසු වී ගසා ගෙන යන අයුරු දැක තිබේ. ඉන්පසු වහා මුහුදට පැන එම පිරිස බේරා ගැනීමට ඔහු කටයුතු කර ඇත.

මිය ගිය අයත් සමග පැමිණි ඔහුගේ මිතුරන් ද තමන්ගේ ජීවිත අවදානම නොතකා මුහුදේ රළ පහරට හසු වී සියලු දෙනා බේරා ගෙන ඇති අතර ,අවසානයේ ගොඩට එමින් සිටි මෙම තරුණයා නැවතත් රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

බේරා ගත් ළමයින් පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමුවීම හේතුවෙන් මෙම තරුණයා එම ස්ථානයේ නොමැති බව එකවර දැනගත නොහැකි වී ඇති අතර ඔහු ගසාගෙන යන අයුරු දකිනවත් සමග එම ස්ථානයේ සිටි තරුණයන් කිහිපදෙනකු පිහිනා ගොස් දියේ ගිලෙමින් සිටි තරුණයා ගොඩට රැගෙන විත් තිබේ.

අනතුරුව 1990 ගිලන් රථය මගින් සිහිසුන්ව සිටි තරුණයා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය තරුණයා සිවිල් ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවකයෙකු බව ප්‍රදේශවාසීහු පවසති.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය 13 දින කළුතර මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණු අතර,

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ප්‍රේමතිලක පෙරමුණ- වලල්ලාවිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here