දැනුම් දීමයි…ප්ලාස්ටික් ආශ‍්‍රිත ද්‍රව්‍ය 6ක් අද සිට තහනම්

0

ප්ලාස්ටික් ආශ‍්‍රිත නිෂ්පාදන වර්ග 06ක් අද (31දා) සිට භාවිතය සහ නිෂ්පාදනය කිරීම තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මෙම භාණ්ඩ නිසා දීර්ඝකාලීනව සිදුවන පරිසරහානිය සලකා බලා මෙම තීරණය ගත් බව පරිසර අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට් (ආහාර හා ඖෂධ නොවන) කොට්න් බඞ් (වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ඊට අයත් වේ.

මීට අදාළ ගැසට් පත‍්‍රය මේ වනවිට නිකුත් කර ඇතැයිද පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බව කී අමාත්‍යවරයා මෙම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද අවධාරණය කළේය.

මෙම සමාගම් මුළුමනින්ම දේශීය සමාගම් වන අතර ඇතැම් කර්මාන්තකරුවන් විසින් මෙම තහනම පැනවෙන බව දැන සිටියත් නව උපකරණ පවා ආනයනය කර සවිකර ඇති බව සඳහන් කළේය. එසේ කරන ලද එක් සමාගමක අලූතින් ගෙන්වන ලද උපකරණ නැවතත් ආනයනය කළ රටටම යැවීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කීය. මෙම සමාගම් විසින් අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කර තිබෙන්නේ ඩොලර් වැය කරමිනි. එමනිසා ආනයනය කරන ලද අමුද්‍රව්‍යවලින් දැනට නිපදවා ඇති ද්‍රව්‍ය පමණක් අලෙවි කර ගැනීමට සීමිත සහන කාලයක් ලබා දෙනු ලැබේ.

එසේ වුවද හෙට සිට මෙරට භාවිතය සඳහා එම භාණ්ඩ නිෂ්පාදනය කිරීම තහනම් කෙරෙන අතර දැනට වෙළෙඳ සල්වල අලෙවියට තබා ඇති ඉහත ද්‍රව්‍ය ඒවා අවසන් වන තෙක් අලෙවි කිරීමට පිළිවන. එවැනි වෙළෙඳ සල් පරීක්ෂාවක් සිදු නොකෙරේ.නමුත් ඒවා මෙරට භාවිතය සඳහා නිපදවන්නේද යන්න පිළිබඳව වරින් වර මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිෂ්පාදන කර්මාන්තශාලා පරීක්ෂා කිරීමට නියමිතය.

අරුණ බෝගහවත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here