රුපියල් තිස්දහසකට වඩා අඩු මාසික ආදායමක් ලබන පවුල්වලට සහන මිලට ආහාර සලාකයක් ලබා දිය යුතු යැයි තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කළ බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ‘දිවයිනට’ ඊයේ (18)දා පැවසීය.
හාල් කිලෝ එකක්, සීනි, කිරිපිටි, වියළි හාල්මැස්සන් හෝ කරවල, පරිප්පු හෝ බඩඉරිඟු යන ආහාර ද්‍රව්‍ය පහක් එම සලාකයට ඇතුළත් විය යුතුය යන්න තම අදහස බව ද ඇමැතිවරයා කීවේය. මෙහි බැරෑරුම්ම කාර්ය වනුයේ මෙම සලාකය දීම නොව එවැනි පවුල් හඳුනා ගැනීම යැයි පැවසූ නානායක්කාර මහතා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හරහා එවැනි පවුල් කීයක් ඇද්ද යන්න දැන ගැනීම ගැන අදහසක් තිබෙන බව ද කීවේය.
මාසිකව රුපියල් තිස්දහසකට අඩු ආදායමක් ලබන පවුල් ගණන දැන ගත් පසු එම පවුල් නිශ්චිතව හඳුනා ගැනීම කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය. එසේ හඳුනාගත් පසු සමුපකාර සහ සතොස හරහා එම සලාක සහන මිලකට අදාළ ජනතාවට බෙදා දිය හැකි යැයි ද වාසුදේව නානායක්කාර ඇමැතිවරයා පැවසීය. මෙම යෝජනාව කි‍්‍රයාත්මක කළ හැකිදැයි සොයා බැලීමට ජීවන වියදම් කමිටුව වෙත යොමුකළ බව ජනාධිපතිවරයා තමාට පැවසුවේ යැයි ද ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා කීවේය.