අද ආණ්ඩුව අදූරදර්ශී විදියට සහ ජනවරමේ අධ්‍යාත්මය පළුදු වෙන විදියට කටයුතු කරනවා

0
179

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන අනිවාර්යයෙන් කරන බවට පොරොන්දුවක් දිය යුතු බවත් සහ ඒවා පාර්ලිමේන්තුවේ විවාදයට පෙර නොසඟවා මහජනයාට ඉදිරිපත් කළ යුතු බවත් දේශ හිතෛශි ජාතික ව්‍යාපාරයේ ලේකම්, ජාතික සංවිධාන එකමුතුවේ සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේද කීය. ඇත්තටම 19 සංශෝධනයේ අරමුණ වටහා ගැනීමෙන් තොරව අපට 20 ගැන කතා කරන්න බෑ. රාජපක්ෂ පවුල බිඳ දැමීම, රනිල් වික්‍රමසිංහට විධායක බලය ලබාදීම සහ රට අන්තවාදී , බෙදුම්වාදී බලවේගවල ගොදුරක් බවට පත්කරලා රට අස්ථාවර කිරීම 19 සංශෝධනයේ මූලික අරමුණු වුණා. දෙවැනි අරමුණ ඔවුන්ට ඉටු කරගන්න බැරි වුණා. නමුත් අවසන් අරමුණ ඔවුන් ඉටු කරගත්තා. පළමුවැනි අරමුණත් ඉටු කරගන්න භාවිත කරපු මූලික සටන් පාට තමයි ඔවුන් දැන් 20 සංශෝධනයට යොදාගන්නේ.

අද ආණ්ඩුව අදූරදර්ශී විදියට සහ ජනවරමේ අධ්‍යාත්මය පළුදු වෙන විදියට කටයුතු කරනවා. යහපත් දේ ඉතුරු කරලා අයහපත් දේ ඉවත් කළා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ. මේ සඳහා විපක්ෂයෙන් වගේම ආණ්ඩු පාර්ශ්වයෙන්ද විරෝධය මතුවෙනවා.

අධිකරණ ඇමැතිවරයාම පෙන්වන්න හදනවා 20 සංශෝධනයට ජාතකයක් නෑ කියලා. ඇමැති මණ්ඩලයට වගකීම පවරන්න හදනවා. මෙහි වගකීම ජනාධිපතිවරයා භාර ගන්නවා. නමුත් 20 හදන්නේ ජනාධිපතිවත් ඇමැති මණ්ඩලයවත් නෙවෙයි. ඉදිරිපත් කරන්නේ අධිකරණ ඇමැතිවරයා. විස්ස නිසා හතරගාතෙන් වැටිලා හිටපු විපක්ෂයට විස්ස නිසා සටන් පාඨ ලැබිලා තියෙනවා.

20 වැනි සංශෝධනයේදී ප්‍රබලව විරෝධය පාන කරුණු තුනක් තියෙනවා. පළවැනි එක හදිසි පනත් සම්මත කිරීමට අවස්ථාව ලබාගැනීම. මේ නිසා එම්.සී.සී. සම්බන්ධ පනතක් වුණත් හදිසි පනතක් ලෙස සම්මත කරගන්න පුළුවන්. නීතියක් සම්මත කිරීමේදී මහජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. එය බරපතළ වරදක්. දෙවැනි කාරණය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නය. එහෙම අය පාර්ලිමේන්තුවට ගියොත්, තානාපති තනතුරු ලැබුවොත් රට ගෝලීය වශයෙන් දැඩි අනතුරකට ලක්වෙනවා. මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, පොලිස්පති, නීතිපති, විගණකාධිපති, මහ බැංකු අධිපති, තානාපතිවරු ද්විත්ව පුරවැසියෙක් වෙන්න බෑ.

ඒ වගේම රාජ්‍ය සමාගම් විගණනයෙන් ඉවත් කිරීම 20 මගින් ක්‍රියාත්මක කිරීම බරපතළ වරදක්. මේ නිසා යහපාලන කාලයේ සිදුවූ වංචා යට යනවා. යහපාලන ආණ්ඩුවේ දරදිය අදින පිරිසකුත් මේ ව්‍යවස්ථා සංශෝධනය පිටුපස ඉන්නවාද කියලා. අහන එක සාධාරණයි.

ඒ වගේම මේ වගන්තිය නිසා අනාගතේ එම්.සී.සී ගිවිසුම ගෙන ආවොත් එය පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඊට ව්‍යවස්ථාමය ඉඩ ලැබෙනවා. ඒ ගිවිසුම පරිදි ලංකාවේ එම්.සී.ඒ. කියලා සමාගමක් හදනවා. සමාගම් විගණනයෙන් ඉවත් වීම මත මේ කියන සමාගමත් ඉදිරියේදී විගණනයෙන් ඉවත් වෙනවා. ඒ වගේම එම්.සී.සී. ගිවිසුම ප්‍රකාරව එම්.සී.ඒ. සමාගමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලංකාවට අතගහන්න බෑ. සමාගම් විගණනයට ඉඩ නොදීම 20 වැනි සංශෝධන පරිදි සිදු වුණොත් එම්.සී.සී. ගිවිසුම අනාගතේ ගෙනෙද්දී අපට අධිකරණයට යාමට ඇති අවස්ථාවත් මෙමගින් නැතිවෙනවා.

මේ වාක්‍ය 20 සංශෝධනයෙන් ඉවත් කරන්න හදනවා කියලා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පත්කළ කමිටුවෙන් කිව්වා. අපි ඒක දැනගත්තේ පසුගිය සඳුදා. නමුත් බදාදා වෙද්දී අධිකරණ ඇමැතිවරයා ගුවන්විදුලියේ වැඩසටහනකට ගිහින් ආණ්ඩුවේ සමාගම් විගණනයෙන් ඉවත් කළ යුත් බව සාධාරණීකරණය කරනවා. ඒවා පුද්ගලික ආයතනයකින් විගණනය කළාම ඇතිලු. අපිට ප්‍රශ්නයක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලන පක්ෂවලට දුන්න පොරොන්දුව කඩනවද? ඊට අභියෝග කරනවද නැත්නම් එය නොසලකා හරිනවද කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here