වෙළෙඳපොළේ මෙයට පෙරත් පොල් ගනුදෙනු වී තිබෙන්නේ අඟල් වලින්

0
116

කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද බඩු මිල ඉහළයෑම පාලනය කළ නොහැකි තත්ත්වයක් බවට පත්වී ඇත. සක‍්‍රයාගේ පුතා වූ වයිමාට ද පාලනය කළ නොහැකි යැයි කියූ බඩු මිල මේ වන විට ද ක‍්‍රමයෙන් ඉහළ යමින් ජන ජීවිතය පීඩාවට පත් කරමින් සිටී. දේශපාලන කරුණු කාරණා වැඩිමනක් සාකච්ඡා කිරීමට අවධානය දක්වන වාතාවරණය තුළ බඩු මිල, උද්ධමනය වැනි මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් ‘දේශපාලනයේ අලූත් කතාව’ ඒ සඳහා ඉඩකඩ වෙන් කරන ලද්දේ මෙසේය.

ප‍්‍රශ්නය – ජනතාව දරාගත නොහැකි ජීවන බරකින් පෙළෙන නමුත් ආණ්ඩුවට ඊට විසඳුම් නොමැති බවට විපක්‍ෂය චෝදනා නඟනවා?

පිළිතුර – රටේ උසුලාගත නොහැකි ජීවන බරක් තිබෙන බවට සමගි ජනබලවේගය ඇතුළු කොටස් ඊට අදාළ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබෙනවා. නමුත් අද සත්‍ය ප‍්‍රශ්නය එය නොවෙයි. අපේ ජීවිත කාලවල කිසි දිනක මුහුණ නොදුන් ආකාරයේ දැවැන්ත ලෝක ආර්ථික විනාශයක් වී තිබෙනවා. කොවිඞ් – 19 වසංගතය හේතුකොටගෙන ලෝකයේ මිනිස්සු ලක්‍ෂ දහයකට වඩා මේ වනවිට මියගොස් තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ ඇඳිරි නීතිය ඉවත් කළේ පසුගිය සතියේ ඉන්දියාවේ දිනකට දහසකට අධික ප‍්‍රමාණයක් කොරෝනා ආසාදිතයන් සොයා ගන්නවා.

ගුවනේ තිබූ ගුවන් යානා සියල්ලක්ම ගුවන්තොටුපළවල ගාල් කරලා. සමුද්‍රයේ භාණ්ඩ ප‍්‍රවාහනය කළ නැව් වරායවල නැංගුරම්ලා තිබෙනවා. පසුගිය සතියේ ඉන්දියාව ලූනු අපනයනය තහනම් කර තිබෙනවා. ලොව මෙවැනි තත්ත්වයකට ලංකාවේ කිසිම ආණ්ඩුවක් නිදහසට පසු හෝ පෙර මුහුණ දී නැහැ. මේ අසාමාන්‍ය තත්ත්වය තුළ මේ මුළු ලෝකයේම රටවල ආර්ථික වර්ධනය ඍන අගයක් ගන්නා බව ලෝක බැංකුව කියනවා.

ලෝක බැංකුව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියනවා ලෝකය කලින් තිබුණු තත්ත්වයට පත්වීමට තව අවුරුදු පහක් ගතවෙයි කියලා. ඒ නිසා මේ කොවිඞ් 19 වසංගතයෙන් පසු මේ රජයටයි, ජනාධිපතිවරයාටයි, අගමැතිවරයාටයි රටේ ජනතාව ස්තුතිවන්ත විය යුතුයි ජනතාව මරණයට පත්වීමට ඉඩ නොදී ජීවත් කරවීම පිළිබඳව.

එහෙම කරලා ගත්ත යහපාලන ආණ්ඩුව බලයට ආ දවසේ ඉඳලා ඉවරවෙන දවස වෙනකන් ජනතාවට යහපතක් කළේ නැහැ. වෛරයෙන් මුසපත්ව ගත් තීරණ නිසා ලංකා ඉතිහාසයේ අඛණ්ඩවම අවුරුදු පහක් ආර්ථික වර්ධන වේගය කඩාවැට්ටවීමේ වාර්තාව තබා ඇත්තේ යහපාලන රජයයි.

ඊට සජිත් පේ‍්‍රමදාසත් සාමූහික වගකීම යටතේ වගකිව යුතුයි. මෙවැනි තත්ත්වයක් යටතේ වත්මන් රජය මේ අයුරින් හෝ ජනතාවට සහන සලසමින් කරගෙන යන වැඩපිළිවෙළ පැසසිය යුතුයි.

ප‍්‍රශ්නය – ලෝකයේම ආර්ථිකය ඍන අගයක් ගන්නා තත්ත්වයට පත්ව තිබෙන අවස්ථාවක අප රටේ මහ බැංකුව කියනවා අපි යන්තමට හෝ ධන අගයක් ගන්නවා කියලා. මේ පුරෝකථනයට ඔබ එකඟද?

පිළිතුර – අප රටේ ජාතික නිෂ්පාදනයට දායක වන්නේ කෘෂිකර්ම කර්මාන්ත හා සේවා අංශ තුන. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මඟින් කියා ඇති පරිදි අපි ඉතා විශාල විප්ලවයක් කරනවා කෘෂිකර්මාන්තය සඳහා. මේ විප්ලවය කරන්නේ 1977 න් පසු මේ රටේ කිසිම ආණ්ඩුවක් අනුගමනය නොකළ ප‍්‍රතිපත්තියක් යටතේ.

මේ රටේ නිපදවිය හැකි නිෂ්පාදනය වාසිදායක වන සෑම භාණ්ඩයක්ම රට තුළ නිපදවීම අරමුණු කරගෙන එවැනි භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර තිබෙනවා.

කජු, ගම්මිරිස්, කහ, උඳු, සරුංගල්, හඳුන් කූරු යන මේ භාණ්ඩ ගෙන්වන්නේ නෑ. ආණ්ඩුවට කෙතරම් බැන්නත් කාටූන් හැටහුටා හමාරක් ඇන්ඳත් ආණ්ඩුව හිටගෙන ඉන්නේ ජාවාරම්කරුවන්ගේ පැත්තේ නොවෙයි රටේ ගොවි ජනතාවගේ පැත්තේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයෙන් පසු ඇත්තටම.ගොවියගේ පැත්තේ ඉන්ද්‍රඛීලයක් සේ හිටගත් රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා.

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පැවති කැබිනට් රැුස්වීමකදී ජනාධිපතිවරයාට කිව්වා කහ ගෙන්වන ව්‍යාපාරිකයන්ට කහ ගෙන්වීමට ඉඩ නොදුන්නොත් සමහර විට මැතිවරණයෙන් පරාජය විය හැකියි කියලා. කහ ගෙන්වීමට ඉඩ නොදීමෙන් ආණ්ඩුව පරදිනවා නම් පැරදුනාට කමක් නැහැ. ඒත් කහ ගෙන්වීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. එතුමා ඡුන්දය බලාගෙන නොවෙයි කටයුතු කරන්නේ රට ගැන හිතලා. ඒ ගැන එතුමාගේ රට හදන වැඩපිළිවෙළට ශක්තිය දිය යුතුයි.

කෘෂි අංශයේ නිෂ්පාදන විශාල ලෙස වැඩි වුණොත් අපේ ආර්ථික වර්ධන වේගය ඍන අගය ධන වීමට පුළුවන්. භාණ්ඩ මිල ඉහළ යෑමට තිබෙන්නේ එක උත්තරයයි. නිෂ්පාදනය වැඩි වුණොත් සැපයුම වැඩිවෙනවා. සැපයුම වැඩිවුණොත් මිල පහළ යනවා. එයයි ස්වභාවධර්මයේ න්‍යාය. අස්වැන්න නෙළන කාලයට බඩු මිල අඩුවෙනවා.

ප‍්‍රශ්නය – වට ප‍්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීමට රජය ගෙන ඇති තීරණය මේ වනවිට සමාජයේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා නේද?

පිළිතුර – ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදි නටවන්න බැරි වෙළෙඳ ඇමැති කෙනෙක් මම. පොල් පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස අපෙන් ඉල්ලා සිටියේ පොල් සංවර්ධන මණ්ඩලය. එවිට අපේ යුතුකම සාමූහික වගකීම යටතේ අදාළ ඇමැතිවරයාට සහයෝගය දීම.

වෙළෙඳපොළේ මෙයට පෙරත් පොල්  ගනුදෙනු වී තිබෙන්නේ අඟල් වලින්. පොල් වතුවලින් මිලදී ගෙන තිබෙන්නේ මේ ආකාරයටයි. එයයි මේ ව්‍යාපාරයේ පුරුද්ද. පොල් අපනයනය සඳහා වෙන්දේසියට ඉදිරිපත් කරල තියෙන්නේ අඟල් වලින් වට ප‍්‍රමාණය මැනලා. ඒ නිසයි අඟල් වලින් පොල් මනින්න නියම කළේ. මේක අලූත් දෙයක් නොවෙයි.

වෙළෙඳපොළේ පොල් අලෙවි කරන්නේ ලොකු පොල්, මධ්‍යස්ථ පොල්, කුඩා පොල් ආදී වශයෙන් ගොඩවල් තුනක් ගසා. එයයි මහ පොළොවේ තිබෙන යථාර්ථය. මේ සඳහා කෙතරම් කාටූන් ඇන්ඳත් කමක් නැහැ. කතරගම දේවාලයේ පොල් වෙනුවට තැඹිලි තියන්නේ කියලා මාධ්‍ය මඟින් ප‍්‍රචාරයක් කළා.

ප‍්‍රශ්නය – වට ප‍්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීම පිළිබඳව ඇමැතිවරයා ලෙස ඔබත් හාස්‍යයට ලක්කර තිබෙනවා?

පිළිතුර – ඒවායින් අපි සැලෙන්නේ නෑ. දේශපාලන විකෘති තත්ත්වය තුළ හිතට එන ඕනෑම දෙයක් තමන්ට හිතෙන විදියට කියනවා. පොල් නිෂ්පාදකයෝ පොල් වෙන්දේසියේ සිටින අය පොල් වතුවල අය අඟල් ගානට විකුණූ වෙළෙඳුන් එවැනි දේශපාලනඥයන් පිළිබඳව හිනාවෙනවා.

ප‍්‍රශ්නය – සහල් හිඟයක් මවා පා සහල් මිල වැඩි කිරීමේ කූට වැඩපිළිවෙළක් තිබෙන බැවින් එය පරාජය කිරීමට රජය සූදානම් කියලා කියා තිබුණා.

පිළිතුර – ඔව්. ආරක්‍ෂිත සහල් තොග පවත්වා ගැනීමට සහල් පිටරටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. අවශ්‍ය වුණාම දින පහක් ඇතුළත සහල් ගෙන්වනවා.

රජයේ ස්ථිර ප‍්‍රතිපත්තිය ලබන වසරට සහල් මිල උපරිම මිල සත පහක්වත් වැඩි කිරීමට ඉඩ නොදීමයි. කීයට ගත්තත් මං මේ ඇමැතිකමේ සිටින තාක් ලබන වසරට සත පහක්වත් සහල් මිල වැඩිකිරීමට ඉඩදෙන්නේ නෑ. වැඩිකර ගන්න ගිය සැණින් සහල් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ගෙන තිබෙනවා. සත්ව ආහාර සඳහා සහල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහම් කරලා තියෙන්නේ.

සාකච්ඡා කළේ –  අනුර බාලසූරිය/සංස්කරණය – අකිත පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here