ඇමැති ධුර නැති මන්ත‍්‍රීවරු ජාතික ආණ්ඩුවක් ඉල්ලති

0

20 වැනි සංශෝධනය ගෙන ඒමේ දී ඇමැති ධුර සංඛ්‍යාව 30 සීමාවේ හා 40 සීමාවේ පවත්වා ගන්නට මහා සංඝරත්නය හා ජාතික බලවේග සමත් වුවද, රජයට අවශ්‍ය නම් ඕනෑම විටක ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට මෙම 20 වැනි සංශෝධනය තුළ වුවද ප‍්‍රතිපාදන ඇති බව දේශපාලන විශ්ලේෂකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

තමන්ට සරිලන ඇමැති ධුර නොලැබුණේ යැයි බලවත් කනස්සල්ලෙන් පසුවන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් සඳහා දැනට තිබෙන සීමාවන් ඉක්මවා කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබා දීමට රජයට අවශ්‍ය නම්, මේ තිබෙන 20 වැනි සංශෝධනය තුළින් ද ඉතා පහසුවෙන් එය කළ හැකි බව එම විශ්ලේෂකයා සඳහන් කළේය. ඒ සඳහා කළ යුත්තේ 2015 දී යහපාලන ආණ්ඩුව අනුගමනය කළා සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් කණ්ඩායමක් සමඟ ගිවිසුමක් අත්සන් කර ජාතික ආණ්ඩුවකට එළැඹීම පමණක් බව පෙන්වා දුන් විශ්ලේෂකයා ඒ සඳහා 19 ව්‍යවස්ථාවෙන් තිබූ ප‍්‍රතිපාදනය කිසිදු වෙනසක් නොමැතිව මෙම ව්‍යවස්ථාවේත් එලෙසම පවතින බව ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික ආණ්ඩුවක් යනු කුමක්දැයි අර්ථ දක්වා තිබේ. ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් පක්ෂය හෝ කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටින වෙනත් පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් එය කළ හැකි ය. එහිදී 2015 දී එවකට සිටි කථානායකවරයා ව්‍යවස්ථාව අර්ථ දක්වමින් එකී සන්ධානගත කණ්ඩායම් පිළිගත් ආකාරය ගැන පූර්වාදර්ශයක් ඇති බැවින් කිසිදු ගැටලූවකින් තොරව මෙම රජයට ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධුර සංඛ්‍යාව තීරණය කළ හැකි බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

(බුලිත ප‍්‍රදීප් කුමාර – දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here